රුපියල් කෝටි 700කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් මෙරටට ආනයනය කරනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථ 112ක් අතරින් අල්ලස් කොමිසම භාරයට ගත් රුපියල් කෝටි 68 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන 05ක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රේගුව භාරයට පත් කිරීමට ඊයේ (14) නියෝග කළේය.
අදාළ සුඛෝපභෝගී වාහන පහ ඊයේ (14) අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා පරීක්ෂාවට ලක් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත. එම වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර රේගු අධිකාරි ඒ.එම්.ඩී. ඒ රංග මහතා වෙත නියෝගයක් ද නිකුත් කළේය.
තවද මෙම වාහන වෙන්දේසි කර රජයට අය කරගත් මුදල් පිළිබඳව වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත අධිකරණයෙන් නියෝග ද නිකුත් කෙරිණි. නීති විරෝධී ලෙස අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට ගෙන්වූ මෙම සුඛෝපභෝගී වාහන පහ මඟින් රුපියල් මිලියන 400කට ආසන්න බදු මුදලක් රජයට අහිමි වී ඇතැයිද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මින් ඉහතදී මෙසේ වාහන 05ක් රේගුව වෙත භාර දීම අල්ලස් කොමිසම විසින් සිදු කර තිබිණි.
රුපියල් කෝටි 700කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් මෙරටට ආනයනය කරනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථ 112ක් විකිණීම, පැවරීම, අන්සතු කිරීම තාවකලිකව තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගක් නිකුත් වූයේ ඉකුත් 22 වැනිදාය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ශ්‍රී ලංකා රේගුවෙන් නිසි ලෙස නිෂ්කාශනය නොකර මෙරටට ගෙන්වන ලද මෙම සුඛෝපභෝගී වාහන 112 සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බැවින් එම වාහන වෙනත් අයකු වෙත පැවරීම තහනම් කරමින් තාවකාලික නියෝගයක් නිකුත් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව 2923 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 111 වන වගන්තිය මඟින් කියැවෙන දූෂණය නමැති වරද මෙහි සිදුව ඇති බවට කරුණු අනාවරණය වන බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම වාහන අතර ලෑන්ඩ්කෲසර්, මොන්ටෙරෝ, ටොයොටා කැබ් වැනි සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළත් වන අතර, ඇතැම් වාහන මෙරට වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි හතක් පමණ වන බවත් ඒවා 2015 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ වරින් වර විවිධ ආකාරයෙන් කන්ටේනර් තුළ සඟවා සහ වෙනත් ද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කර ඇති බවත් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්යක්ෂ (නීති) අනූෂා සම්බන්ධපෙරුම මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.