ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැසක් ඉහළ ඒමට සමත්ව තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නිමාවූ දෙවැනි එක්දින තරගයේදී දැක්වූ දස්කම් මත මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් අතරේ එක් ස්ථානයක් ඉදිරියට එමින් 12 වැනි තැනට පත්ව තිබේ. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ ද ස්ථාන 3කින් (35) ඉදිරියට පැමිණ ඇති අතර, වනිඳු හසරංග පන්දු යවන්නන් අතර ස්ථාන දෙකක් (16) ඉදිරියට පැමිණි ඇත. වනිඳු තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 10 වැනි තැන සිටියි.
එක්දින පිතිකරුවන් අතර පැතුම් නිශ්ශංක (7), චරිත් අසලංක (12) සහ කුසල් මෙන්ඩිස් (36) එම ස්ථානවලම රැඳී සිටියදී සදීර සමරවික්‍රම ස්ථාන දෙකකින් (45) ඉහළට පැමිණ ඇත. අසලංක තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ස්ථාන 2ක් (39) ඉදිරියට පැමිණ තිබේ.
මේ අතර නවසීලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලින් ලබාගෙන තිබූ ශ්‍රේණිගත ලකුණු 716 හේතුවෙන් එක් ස්ථානයකින් ඉදිරියට යමින් 9 වැනි තැනට පත්ව සිටී. එහි කැපී පෙනෙන වෙනස සිදුව ඇත්තේ පාකිස්තානයේ සවුද් ශාකීල් ස්ථාන 20ක් ඉදිරියට පැමිණ 7 වැනි තැන ගැනීමයි. දිනේෂ් චන්දිමාල් ස්ථාන 3කින් (19) සහ ඇන්ජලෝ මැතිව්ස් එක් ස්ථානයකින් (1) ඉහළ නැඟ ඇති අතර, දිමුත් කරුණාරත්න (16) ස්ථානයකින් පහත බසිද්දී ධනංජය ද සිල්වා 17 වැනි තැනම සිටිති.
ටෙස්ට් පන්දු යවන්නන් අතර ප්‍රභාත් ජයසූරිය (801) 6 වැනි තැනම රැඳී සිටියදී රමේෂ් මෙන්ඩිස් (31), විශ්ව ප්‍රනාන්දු (33) සහ ළහිරු කුමාර (37) එක් ස්ථානය බැගින් ඉහළ ගොස් තිබේ. ස්ථාන 3ක් ඉදිරියට යමින් ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සමත්ව ඇති අතර, එතෙක් පෙරමුණ ගෙන සිටි ඉන්දියාවේ ජස්ප්‍රීට් බුම්රා තෙවැනි තැනට වැටී තිබේ. රබාඩා පෙරමුණ ගෙන ඇත්තේ 2019 වසරෙන් පසුවය.