ඊශ්‍රායලය විසින් පෙරේදා එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ විප්ලවීය හමුදාවේ බුද්ධි සේවා ප්‍රධානි බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් කසේමි ජීවිතක්ෂයට පත්වූ බව ඉරානය තහවුරු කර ඇත. බුද්ධි සේවා නියෝජ්‍ය ප්‍රධානි හසන් මොහාකින් ද මිය ගිය බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර සඳහා ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ තවත් ප්‍රහාරයකින් බුද්ධි අංශයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන මොහ්සේන් බගේරි ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද වාර්තා වේ. ඉරානයේ සිවිල් වැසියන් පදිංචිව සිටින ප්‍රදේශවලට ද, ඉන්ධන ගබඩා, රජයේ අමාත්‍යාංශ සහ හමුදා ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් එල්ල වු ප්‍රහාරවලින් දරුණු හානි සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊශ්‍රායල හමුදාව පෙරේදා නැඟෙනහිර ඉරානයේ කිලෝමීටර් 2,000ක් පමණ දුරින් පිහිටි මෂාඩ් ගුවන්තොටුපොළට ද ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇත්තේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ඉරානයේ වැඩිම දුරකින් පිහිටි ප්‍රදේශයකට පහර දුන් පළමු අවස්ථාව එය බවය. ඉරානය වෙතින් දිගින් දිගටම ප්‍රහාර එල්ල වන්නේ නම් ටෙහෙරානය මුළුමනින්ම විනාශ කරන බවට ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමැති ඊශ්‍රායල් කැට්ස් තර්ජනය කර ඇතැයි ද වාර්තා වේ.