ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් යුරෝපා සංගමයේ ආර්ථිකය යුරෝ බිලියන 200කින් පහළ වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇත. ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තියෙන් යුරෝපා සංගමයේ රටවල්වලින් ආනයනය කරනු ලබන වානේ, ඇලුමිනියම් සහ මෝටර් රථ සඳහා 25% ක තීරු බදු සහ සෙසු භාණ්ඩ සඳහා 20% ක තීරු බදු පනවා ඇති අතර, වසර 2023 දී අමෙරිකාවට යුරෝ බිලියන 503.8ක නිෂ්පාදන අපනයන කර ඇති යුරෝපා සංගමයේ අපනයන ආර්ථිකය නව තීරුබදු හේතුවෙන් යුරෝ බිලියන 200කින් පහත වැටෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතැයි වාර්තා වේ.
ට්‍රම්ප්ගේ අධික තීරුබදු හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින යුරෝපයේ රටවල් රැසක් මේ වනවිට සිය ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා චීනය දෙසට අවධානය යොමු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ යුරෝපා සංගමය විසින් චීන නිෂ්පාදනවලට දැඩි තීරුබදු පනවනු ලැබීමෙන් උද්ගත වූ ආර්ථික අර්බුදය මත යුරෝපා නිෂ්පාදනවලට චීනයෙන් සාර්ථක ප්‍රතිචාර ලැබීම ගැටලුසහගත බව ද වාර්තා වේ.