රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.
අද (04) උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 77 වැනි ජාතික නිදහස් දින සැමරුම ආරම්භ කෙරිණි.
නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ කාලාන්තරයක් තිස්සේ යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කොට පාලනය කළ ජනවාර්ගික ආගමික කුල භේද පමණක් නොව දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර මුල් බැසගෙන ඇති අගතීන් සෝදා හැර සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙන බවයි. එසේම නූතන ලෝකයට අවශ්‍ය මානව ගරුත්වය ආදරය දයාව මානව සමාජයේ පදනම බව අපට ම අවධාරණය කර ගත යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.
“මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන. උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස සමරන්නෙ.
1948 පෙබරවාරි 4 වන දා අපේ රටට, අප වෙනුවෙන් තීරණ ගැනීමට අවශ්‍ය දේශපාලන නිදහසක් හිමි වුණා. ඒ නිදහස සීමිත වුණත් ඒක වැදගත්. ඒ තමයි අපි දේශපාලන ස්වාධීනත්වය ලැබීමේ ඉතිහාසයේ පළමුවෙනි මොහොත. 1505 සිට කොටස් වශයෙන් බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත් වුණ මේ දිවයින 1815 සමස්තයක් ලෙසම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත් වුණා. එයින් මිදී මීට වසර 77කට පෙර ඉන්දියන් සාගරයෙන් වට වූ මේ දූපත ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීමට අවශ්‍ය දේශපාලන කොන්දේසි සැපිරීම ආරම්භ කරන්නෙ අද වැනි දවසක. ඒ නිසා ඒක අපි සැමරිය යුතු දවසක්.
මේ දවස උදා කිරීම වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයන් කළ සියලු වීරෝධාර මිනිසුන්ට අපේ ආචාරය පුද කළ යුතු දවසක් අද. ඒ වගේම ඒ නිදහස පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔවුන් ලබා දුන් ඒ යෂ්ටිය රැගෙන 1948න් පසුවත් තවත් වීරෝධාර මිනිසුන් කඳුපල්ලම් සහිත මාවතක අපේ නිදහස වෙනුවෙන් ගමන් කළා. කිරීටයෙන් පූර්ණ දේශපාලන නිදහස ලබන 1972 වසරත් පසු කරමින් ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මෙහොත දක්වා අප දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා. ඒ ගමන තුළ අප දන්නා අප සමරන වීරයන් වීරවරියන් සේම අප නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ කඳළු දහදිය මතින් අද දක්වා අප පැමිණ සිටිනවා. ඒ සියලුදෙනාට මේ මොහොතේ අපගේ ආචාරය හිමි වනවා.
අද මම මේ රාජ්‍යයේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා ලෙස මේ නිදහස් චතුරස්රයේ මේ අභිමාවනවත් ජාතික ධජය ඉදිරියේ සිටගන්නේ නිදහසේ අනාගත අපේක්ෂාවන් නියෝජනය කරන ඒ ඓතිහාසික බර දරා ගත් ඔබගේ සහෝදරයා ලෙසයි. මා ලෙසම මේ බර දරා ගෙන මේ මොහොතේ ඔබත් මා සමඟ මා අසල එක්ව සිටගෙන සිටිනා බව මා විශ්වාස කරනවා.”
මේ නිදහසේ සිහිනය එක්ව දකිමු. ඒ සිහිනය එක්ව සැබෑ කරගමු. ඔබ සහ මම අප සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්රජාතන්ත්රවාදය පිළිබඳව නුතන දේශපාලන ලෝකයේ නොමැකන ආදර්ශයක් බවට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකා රාජ්‍ය පත්කරන ගමනක් විය හැකි බව ද මතක තබා ගන්න. නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත් රට බවට පත්විය නොහැකිය. නමුත් අපි උත්සාහ කළොත් අපිට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සමානාත්මතාවය හා නිදහසේ රාජ්‍ය බවට පත්විය හැකියි.”