ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Marc Andre Franche මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (12) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවීමට අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය. මෙහිදී අමාත්‍ය හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සංවර්ධනය සඳහා රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දීර්ඝ කාලීන වැඩපිළිවෙළ පිළිබඳව Marc Andre Franche මහතා ප්රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසට පැහැදිලි කරන ලදී. මෙම වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන තුනකින් අපනයන ආදායම වැඩි කර ගැනීමට රජය සැලසුම් කර ඇති බවත් එහිදී අගය එකතු කළ නිෂ්පාදන අපනයනය සඳහා රජයේ විශේෂ අවධානය යොමු කර ඇති බවත් හදුන්නෙත්ති අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසට පැවසීය.
එසේම ඉඩම් බැංකුවක් (Land Bank) ආරම්භ කර ඒ හරහා වගා නොකරන සෑම බිම් අඟලක්ම කර්මාන්ත සඳහා ඵලදායිව යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. වත්මන් රජයේ මෙම සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Marc Andre Franche මහතා ඇතුළු නියෝජිත පිරිස එම සැලැසුම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රශංසාව පළ කළ අතර උතුරු නැගෙනහිර පළාත ඇතුළුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක කරන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව පැවසීය.
එසේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා තාක්ෂණික සහය මෙන්ම හරිත කර්මාන්ත (Green Industry) ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබාදීමටද මෙහිදී එකඟත්වය පළ කරන්න ලදී.
උතුර නැගෙනහිර පළාත්වල සංචාරක කර්මාන්තය සමග ඒකාබද්ධව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කිරීමටත්, දකුණු පළාතේ ගාල්ල ආශ්‍රිතව අක්කර 4000 ක භූමි ප්‍රමාණයක තැඹිලි වගාව සමග සංචාරක කර්මාන්තය හා ඒ ආශ්රිත අනෙකුත් කර්මාන්ත ඇතුළත් කළාපයක් ආරම්භකිරීම පිළිබඳවත් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Marc Andre Franche, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාතික අධ්යක්ෂ Joni Simpson, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ව්‍යාපෘති කළමනාකරු Nicholas L. Dehod , එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ජාත්‍යන්තර ජේෂ්ඨ විශේෂඥ Jairo A. Villamil Diaz යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.