ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායම සහ කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැති තර​ඟය ලකුණු 10කින් ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම ඊයේ සමත්වුණි.

කාසියේ වාසිය දිනාගැනීමට කලම්බූ ස්ට්‍රයිකර් ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල අවුරා කණ්ඩායම ආරාධනා කළේය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්ඳුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 192ක් රැස් කළේය.

දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් රැස්කළ අතර සධීර සමරවික්‍රම ලකුණු 59ක් රැස්කළේය.

පන්දු යැවීමේදී කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 3ක් දවාගත්තේය. ඒ අනුව ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත හැකි වූයේ ලකුණු 182ක් පමණි.

Share.

Comments are closed.