කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊ​යේ පැවැති තරඟයේදී ගෝල් ටයිටන්ස් පිල පරදවමින් බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 34 ක පහසු ජයක් අත්කර ගත්හ.

ඒ අනුව අද පැවැත්වෙන අවසන් මහා තර​ඟයේදී දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම LPL කුසලාන​ය වෙනුවෙන් තර​ඟ වදිනු ඇත.

ලකුණු 158 ක ඉලක්කයක් කරා ගිය ගෝල් ටයිටන්ස් පිලට කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 123 ක් පමණි. කණ්ඩායම වෙනුවෙන් තනිවම සටන් කළ සොනාල් දිනූෂ ලකුණු 28 ක් ලබාගත් නමුත් ඔහු මුහුණ දුන් පන්දු 32 න් පන්දු 10 ක්​ම ලකුණු ලබා නොගත් ඒවා විය.

නියමිත ඉලක්කයකට පන්දු යැවූ කැන්ඩි පන්දු යවන්නන්ගේ පන්දු යවන්නෝ රිසි සේ ලකුණු ලබාගැනීමට ගෝල් ටයිටන්ස් පිතිකරුවන්ට ඉඩ නොතැබූහ. ගෝල් ටයිටන්ස් ඉනිමේ පන්දු 120 න් පන්දු 52 ක් ම නිළකුණු පන්දු වූයෙන් තරගයේ ජයග්‍රහණය ගැන සිතීමත් පහසු නොවීය.

ඉනිම පුරාම නිළකුණු පන්දු 54 ක් තිබුණ නමුත්, හයේ හතරේ පහර වැඩියෙන් ගැසූ බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්හ.

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීම තෝරාගත් නමුත් බී-ලව් කැන්ඩි කණ්ඩායම ආරම්භය අසාර්ථක විය. ලකුණු සංඛ්‍යාව 19 ක් වෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගිය අතර තවත් ඕවරයකින් පසුව තුන්වැනි කඩුල්ලත් බිඳ වැටෙන විට පුවරුවේ සටහන් වූයේ ලකුණු 20 කි. මෙම අවස්ථාවේදී එක්වූ දිනේෂ් චන්දිමාල් සහ වනිඳු හසරංග, පන්දු 52 කදී ලකුණු 72 ක් එකතු කළේ කැන්ඩි කණ්ඩායම නැවතත් තර​ඟයට කැඳවාගෙන එමිනි.

චන්දිමාල් සුපුරුදු පිතිහරඹයේ යෙදෙමින් සිටියදී වනිඳු හසරංග රිසිසේ පහර ගසමින් ලකුණු ලබාගන්නට විය. පාදයක අපහසුතාවක් හේතුවෙන් අසීරුවෙන් දිව යමින් සිටි නමුත් තබ්රේස් ශම්සිගේ පිට පිට පන්දු දෙකක් ලෝන්ග් ඕන් කලාපයය හරහා හතරේ සීමාවට ඉහළින් යැවූ වනිඳු පන්දු 6 ක් ඇතුළතදී තම තුන්වැනි හයේ පහරත් ඉනිමට එක්කළේය.

දසුන් ශානකගේ පළමු ඕවරයේ පළමු පන්දුවටම වනිඳු ගැසූ පහරකින් ඉහළ නැඟි පන්දුව ගුවනේ ​බොහෝ වේලාවක් රැඳී තිබු​න නමුත් එය පහළට ඒමේදී, මිඩ් ඔන් හී සිටි නජිබුල්ලා සද්රාන්ගේ දෑත් අතරින් රිංගා බිම වැටිණ. ඒ වන විට පන්දු 22 කට මුහුණ දී සිටි කැන්ඩි නායකයා ලකුණු 35 ක් ලබා සිටියේය.

හයේ පහර 4 ක් සහ හතරේ පහ 3 ක් ද සහිතව, පන්දු 30 කින් ලකුණු 48 ක් ලබාගත් වනිඳු තවත් දැවැන්ත පහරකට උත්සාහ කිරීමේදී දැවී ගියේය.

වනිඳු දැවී ගිය නමුත් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව ලකුණු පුවරුව ක්‍රියාත්මකව තබද්දී වනිඳුගේ වැඩිමහල් සොහොයුරා වන චතුරංග ද සිල්වා, කැන්ඩි පිලේ ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට ගෙන යමින්, පන්දු 6 කින් ලකුණු 15 ක් ලබාගත්තේය.

Share.

Comments are closed.

Exit mobile version