වසර නවයකට පසුව ශ්‍රී ලංකාව පදක්කමක් කෙරෙහි ඉහළම විශ්වාසයක් තබා තිබෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල (2022) ඊයේ (23) චීනයේ සත්කාරයෙන් හංජෝ නුවරදී ආරම්භ වි​ය. කලාපයේ රටවල් 45 ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ සිට ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා ක්‍රීඩා ඉසව් 40 කට තරග වදිති.

රට තුළ ආර්ථික​ය කඩාවැටීමක් ප්‍රකටව තිබුණත් ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව් 21 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 දෙනකුගේ සමස්ත කණ්ඩායමක් රුපියල් කෝටි 20ක් පමණ වැයක් දරමින් හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශ කර ඇත. ඊට එක්වන පුහුණුකරුවන් හා පරිවාර නිලධාරින්ගේද එකතුවත් සමග සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු එකතුව 156ක් දක්වා ඉහල ගියේය.

ඊ​යේ චීනයේදී ආරම්භ වූ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල කොවිඩ් බලපෑමෙන් වසරකින් කල්දමන ලද්දකි. ඒ හේතුවෙන් එය නිල වශයෙන් හැඳින්වෙන්නේ 2022 ආසියානු ක්‍රීඩා උළෙල යනුවෙනි.

කිසිදු පදක්කමක් දිනා ගැනීමට අපොහොසත්වූ අවසන් වරට පැවැති 2018 – ජකර්තා 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 173 දෙනකුගේ කණ්ඩායමක් සහභාගි කර තිබේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව් 21 කට තරග වදින අතර මලල ක්‍රීඩා හා ක්‍රිකට් (විස්සයි-20) ඉසව් දෙකෙන් පදක්කම් දිනා ගැනීම කෙරෙහි ඉහළම විශ්වාසයකින් පසුවේ. කෙසේ වුවත් 1951 නවදිල්ලි ක්‍රීඩා උළෙලෙන් ආරම්භ වූ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා 2010 (ගුඇන්ෂු) ක්‍රීඩා උළෙලේදී මුල්වරට ක්‍රිකට් (විස්සයි-20) ක්‍රීඩාව හඳුන්වා දෙනු ලැබීය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ දස්කම් (පිරිමි ඉසව්ව) සිවුවැනි ස්ථානයට සීමාවිය.

එහෙත් නැවත 2014 (ඉංචියොන්) ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීමේදී ශ්‍රී ලංකාව අෂාන් ප්‍රියංජනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. එහිදී ශ්‍රී ලංකාවට ක්‍රිකට් කාන්තා ඉසව්වෙන් හිමිවූයේ ලෝකඩ පදක්කමයි.

1982 (නවදිල්ලි), 1986 (සෝල්), 2010 (ගුඇංෂු) හා 2018 (ජකර්තා) යන ක්‍රීඩා උළෙල හැරෙන්නට ලංකාව සෙසු සෑම ක්‍රීඩා උළෙලකදීම පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ. ආසියානු ක්‍රීඩා උළෙලක පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා 1951 (නවදිල්ලි) පළමු ක්‍රීඩා උළෙලේදීම වාර්තා විය.

ඒ මලල ක්‍රීඩක එම්. ඒ. අක්බාර් රිටි පැනීම (පිරිමි) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමයි. පළමු රන් පදක්කම එහිදී දිනාගැනීමේ ගෞරවය උස පැනීම ක්‍රීඩක නාගලිංගම් එදිරිවීරසිංහම්ට අත්වේ. ඒ 1958 ටෝකියෝ ක්‍රීඩා උළෙලේදීය. එයින් පසුව මේ දක්වා ශ්‍රී ලාංකිකයන් විසින් දිනා තිබෙන ආසියානු ක්‍රීඩා රන් පදක්කම් ගණන 11 කට සීමාවී තිබේ.

එකම ආසියානු ක්‍රීඩා උළෙලකදී මෙතෙක් රන් පදක්කම් ද්විත්වයක් බැගින් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ 1970 (බැංකොක්) උළෙලේදී මීටර 5000 හා මීටර 10000 යන පිරිමි ඉසව් දෙකම ජයගත් එල්.බී. රෝසාය. මෙම ගෞරවය මෙතෙක් ලබා තිබෙන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ නොබෝදා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය කේ.වී. දමයන්ති දර්ශාය. 1998 බැංකොක් ක්‍රීඩා උළෙලේදී මීටර 200 හා මීටර 400 යන කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනීමට ඇය සමත් වූවාය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලලක්‍රීඩා වාර්තා දෙකක අයිතිය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින්ට හිමිව තිබීම ආඩම්බරයට කරුණකි. සුසන්තිකා ජයසිංහ මීටර 100 (කාන්තා) ඉසව්වෙන්ද, (තත්පර 11.15–2002 බූසාන්) හා දමයන්ති දර් ශා මීටර 200 (කාන්තා) ඉසව්වෙන්ද (තත්පර 22.42–1992 බැංකොක්) එම තරග වාර්තා පිහිටුවා තිබේ.

ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම කෙටි ධාවන ශූරිය ලෙස පිළිගැනෙන සුසන්තිකා ජයසිංහ මෙහිදී දිනා ගත් එකම රන් පදක්කම වාර්තා වන්නේ 2002 බූසාන් ක්‍රීඩා උළෙලේදීය. ඒ මීටර 100 (කාන්තා) ඉසව්වෙනි. එහිදී නැවත වතාවක් දමයන්ති දර්ශා මීටර 400 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා තිබේ.

ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාවේ මෙතෙක් හොඳම දක්ෂතාව වාර්තා වන්නේ 1998 බැංකොක් තරගාවලියේදීය. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් හා ලෝකඩ පදක්කම් තුනක් බැගින් දිනා ක්‍රීඩා උළෙලේ 15 වැනි ස්ථානයට පත්ව තිබේ.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා ඉසව් අටකින් රන් පදක්කම් හා රිදී පදක්කම් 11 බැගින්ද එමෙන්ම ලෝකඩ පදක්කම් 24ක්ද (එකතුව 46) දිනාගෙන තිබේ.

මේ අතර 1974 ටෙහෙරාන් උළෙලේදී මීටර 4×400 (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම දිනා ගැනීම අදටත් ක්ෂේත්‍රයේ ඉහළින්ම අගයන දස්කමකි. පසු කලෙක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරයද දැරූ සුනිල් ගුණවර්ධන ඇතුළුව ඩබ්. විමලදාස, කෝසල සහබන්දු, ඒ. ප්‍රේමචන්ද්‍ර මෙම දස්කම් දැක්වූ ශ්‍රී ලංකා සහය දිවීම කණ්ඩායමට ඇතුළත් විය.

හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලට සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමේදී කාණ්ඩ ලෙස පිටත්ව යන අතර ඉසව් අවසන් වූ සැණින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නැවත ශ්‍රී ලංකාව බලා ඒමට කටයුතු සූදානම් කර තිබේ. ක්‍රීඩා උළෙලට සහභාගි වන එක් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකගෙන් හංජෝ ක්‍රීඩා ගම්මානයේ නවාතැන් ගැනීම වෙනුවෙන් ඩොලර් 50ක් බැගින් අය කෙරේ.

වසර 2010න් පසුව චීනය තවත් ආසියානු ක්‍රීඩා උළෙලක සත්කාරය දැරීමේදී කැපීපෙනෙන්නේ ඔවුන් ඒ සඳහා යොදා ගෙන තිබෙන අතිනවීන තාක්ෂණයයි. එය කොතෙක්ද යත් හංජෝ ක්‍රීඩා ගම්මානය පුරා අහස උසට එසවී තිබෙන මහල් ගොඩනැගිලි හා ක්‍රීඩාංගන රාත්‍රියේදී මුළුමනින්ම ලේසර් කිරණ වලින් ආලෝක කර තිබෙන අතර ක්‍රීඩා උළෙල සඳහා යොදවා තිබෙන පහසුකම් අතර රියැදුරන් රහිත ස්වංක්‍රීය බස් රථද වේ.

හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉසව් සහභාගිත්වය මෙපරිදිය. (ක්‍රීඩකයන් හා නිලධාරීන් පිළිවෙළින්)

  • මලල ක්‍රීඩා: 14–07
  • දුන්නෙන් විදීම: 3–2,
  • ජල ක්‍රීඩා 3-1,
  • බැඩ්මින්ටන්: 1-1,
  • බොක්සිං: 1-2,
  • චෙස්: 1-1,
  • පරිගණක ක්‍රීඩා: 4–1,
  • ජූඩෝ 1-1,
  • කරාටේ: 2-2,
  • ස්කොෂ්: 3-1,
  • ටයිකොන්ඩෝ 2-2,
  • බර ඉසිලීම්: 2-2,
  • මල්ලවපොර: 1-1,
  • වූෂු 2-1,
  • රුවල් ඔරු: 2-1,
  • ඔරු පැදීම: 4-2,
  • ගොල්ෆ්: 4-1: වෙරළ වොලිබෝල් (ක්‍රීඩිකාවන්) 2-1,
  • රග්බි (සත් සාමාජික) 12–5,
  • ක්‍රිකට් (විස්සයි-20) පිරිමි 15–5, (කාන්තා) 15–5,
  • වෛද්‍ය නිලධාරීන් 06,
  • ජාතික ඔලිම්පික් කමිටුවේ කාර් ය මණ්ඩලය නිලධාරීන් 07.

සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස නිෂාන්ත පියසේන මහතාත් එහි නියෝජ්‍ය ප්‍රධානියා ලෙස රෙෂිකා උඩුගම්පොල මහත්මියත් කටයුතු කරති.

Share.

Comments are closed.