ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (දශ ලක්ෂය) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවට පැමිණී මිලියනයේ සංචාරකයා වූයේ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් ( Alex Mazkov) ය. ඔහු සමග ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරු දෙදෙනාද පැමිණ සිටියහ.

ඔවුන් රුසියාවේ සිට ඕමානය වෙත පැමිණ, පසුව එරට මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ WY 373 දරන ගුවන් යානයෙන් ඊ​යේ පස්වරු 02.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

2019 න් වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට මෙසේ සංචාරකයන් පැමිණීම මිලියනය ඉක්මවා යමින් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසේකර මහතා පැවසීය.

මෙම මිලියන සංචාරකයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Share.

Comments are closed.