ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (19)  ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම ජයග්‍රහණය ලැබුවේ, ක්‍රිකට් සුපිරි වීරයන් ලෙස සැලකෙන ඉන්දීය කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයෙන්. එහිදී කඩුළු 6 කින් ජය ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.

තරඟයේ කාසිය වාසිය ලබා ගත් ඕස්ට්‍රේලියානු නායක, පැට් කමින්ස් විසින් පලමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.
මීට ඉහතදී එකම වසරේදී, ලෝක ටෙස්ට් හා එක්දින ක්‍රිකට් කුසලානයන් දෙකම පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියාව දිනා තිබීමද විශේෂත්වයකි.
එම තරඟ දෙකේදීම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වූයේ ඉන්දියාවයි.

මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී ඉන්දීය ඉනිම රෝහිත් ශර්මා සමග ශුබ්මන් ගිල් විසින් ආරම්භ කළහ.
එහිදී, පළමු කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් ලකුණු 4කට දැවී ගියේ ය.
ඉන්දීය නායක රෝහිත් ශර්මා ලකුණු 47ක් රැස් කළ අතර ඔහු දැවී ගියේ ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවකටයි.

විරාත් කෝලි ලකුණු 54 ක් ලබා ගත් අතර ශ්‍රෙයාස් අයියර්ට ලබා ගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 66 ක් රැස් කල ලෝකේෂ් රාහුල්ය.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් කඩුලු 3ක් දවා ගත්තේ ය.

ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 240 කි.

එක් ලක්ෂ තිස් දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් මෙම තරගය නැරඹීමට පැමිණ සිටියහ.
මෙම තරඟයේදී විශේෂ සිදුවීමක්ද වාර්තා විය. ඒ ඉන්දීය ඉනිම අතරතුර නාදුනන පුද්ගලයෙක් ක්‍රීඩා පිටියට අනවසරයෙන් ඇතුල් වීමයි.  ඔහුගේ කමිසයේ පලස්තීනයට සහය පළ කරමින් සටහනක් දැක්විණි. ආරක්ෂක අංශ විසින් එම පුද්ගලයා පිටියෙන් ඉවත් කර, මේ වනවිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන්.

පිලිතුරු ඉනිම ලෙස ලකුණු 241ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ ඩේවිඩ් වෝනර් සහ ට්‍රැවිස් හෙඩ් විසිනි. එහිදී වෝනර් ලකුණු 7කට දැවී ගියේය. 
මිචෙල් මාෂ් ලකුණු 15 ක් සහ ස්ටීවන් ස්මිත්  ලකුණු 4 ක් රැස් කලහ. තුන්වැනි කඩුල්ලට එක්වූ ට්‍රැවිස් හෙඩ් සහ මානස් ලැබුෂේන් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.
මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ට්‍රැවිස් හෙඩ් විසින් සිය එක්දින පිටියේ පස්වැනි ශතකය රැස් කරන ලදී.

ඉන්දීයානු ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටි ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකාගාරය කඳුලෙන් බර කරමින් ග්ලෙන් මැක්ස්වෙල් විසින් ජයග්‍රහණයට අවශ්‍යව තිබූ ලකුණු 2 සම්පූර්ණ කර, ලෝක කුසලානය තම රටට දිනා දුන්නේ ය.

1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී ලෝක ක්‍රිකට් කිරුළ දිනූ ඔස්ට්‍රේලියා අද විජයග්‍රාහී ලෙස 6වැනි ලෝක කුසලානය තමන් සතු කර ගත්හ.

Share.

Comments are closed.