Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ආනයන හා අපනයන පරතරය පියවා ගැනීමට දීර්ඝකාලීනව ණය ලබා ගතහොත් රට නැවත අර්බුදයකට
Sri Lankan news

ආනයන හා අපනයන පරතරය පියවා ගැනීමට දීර්ඝකාලීනව ණය ලබා ගතහොත් රට නැවත අර්බුදයකට

kumudikaBy kumudikaMarch 21, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට අඛණ්ඩව ණය ලබා ගතහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඊට අදාළව නව නීතියක් ද මෙම අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එසේම රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බවත් පැවසූ ජනාධිපතිවරයා මෙම සියලු කටයුතු තුළින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම අරමුණ බව පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ‌‌ඓතිහාසික බෝධින් වහන්සේ වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (20) පෙරවරුවේ එක් වෙමිනි. ශ්‍රී ලංකාව ණය ගෙවිය හැකි රටක් ලෙස නැවත ලෝකය හමුවේ සහතික කිරීමට අදාළ සාකච්ඡා මෙම ජුනි, ජූලි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සමඟම බංකොලොත් රටක් යන නාමකරණය යටතේ අපට මෙතෙක් අහිමිව තිබූ විදෙස් ආධාර නැවත රටට ලැබීම ආරම්භ වන බව ද සඳහන් කලේය.

එපමණක් නොව ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමෙන් වැළකී සිටි විදෙස් බැංකු සහ සමාගම් නැවත ගනුදෙනු කිරීම ආරම්භ වීමත් සමඟ රටේ මුදල් ප්‍රමාණය ඉහළ යාම තුළින් ආර්ථිකය ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සමඟ ජනතාවට තවදුරටත් සහන සැලසීමට අවස්ථාව සැලසෙනු ඇති බව ද කියා සිටියේය.

පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බව ද මෙහි දී සිහිපත් කළ ජනාධිපතිවරයා එබැවින් ගොඩනැ‍ඟෙන ආර්ථිකයේ ප්‍රතිලාභය ද කිහිප දෙනෙකුට පමණක් නොව සියලු ජනතාවට හිමි කර දීම අරමුණ බව ද අවධාරණය කළේය.

කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානය වෙත ඊයේ පෙරවරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර අභිනව බෝධිඝරය සහ රන්වැට විවෘත කළ අතර අනතුරුව බෝධින් වහන්සේ උදෙසා සිදු කෙරුණු ප්‍රථම මල් පූජාව ද සිදු කළේය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එම වැඩකටයුතු කඩිනමින් අවසන් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. 2022 වසරේ දී ලංකාව බංකොලොත් රටක් ලෙස නම් කෙරුණා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහ බැංකුවලින් අපට ආධාර සහ ණය ලබාදීම නතර කළා. මුලින්ම අප මෙම තහනම ඉවත්කරගත යුතුයි. ඒ අනුව අප ණය ගෙවිය හැකි රටක් බව නැවත තහවුරු කළ යුතුයි.

රට ආර්ථික ගැටලුවලින් මුදා ගැනීමට වසරක් තුළ අප තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. මෙම ගැටලුව ඉදිරියට ගෙන ගියා නම් අපට තව වසර දෙක තුනක් දුක් විඳීමට සිදු වෙනවා. නමුත් පළමු පියවර ලෙස රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙළේ අවසාන කොටසට අප දැන් පැමිණ තිබෙනවා. අපට මේ වෙනුවෙන් පියවර රැසක් ගැනීමට සිදු වුණා. නමුත් ඉතා කෙටි කාලයකින් මෙම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට අප සමත් වුණා.

දැන් මෙම සාකච්ඡා අවසන් අදියරේ පවතින අතර හෙට දිනෙන් පසු එම සාකච්ඡා අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව මෙරටට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. ඒ අනුව නිල වශයෙන් අපට ණය ලබා දුන් රටවල් සියල්ල එක් කර ගනිමින් ප්‍රංශය, ජපානය, ඉන්දියාවේ සභාපතිත්වය යටතේ එම සාකච්ඡා සිදු කරනවා.

ඒ වගේම මෙම සාකච්ඡා අවසන් කර අදාළ සාකච්ඡාවලට එක් වූ මෙරට කාර්ය මණ්ඩලය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය එක්ව මෙම සති අන්තයේ දී කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹීමට ද අපේක්ෂා කරනවා. ඒ වගේම අප චීනය සමඟ ද සාකච්ඡා කරගෙන යනවා. එමෙන්ම පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කිරීම ද මේ වන විට සිදු කෙරෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා නැවත යුරෝපයට ගොස් එම කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ අනුව අප බංකොලොත්භාවයෙන් නිදහස් යන ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතනවල ඒකාබද්ධ සාකච්ඡාවක් අප්‍රේල් මාසයේ දී පැවැත්වෙනවා. ඉන් අනතුරුව ඊට අදාළ ගිවිසුමට කඩිනමින් අත්සන් තැබීමට අපේක්ෂා කරනවා.

ජුනි, ජූලි මාස වන විට මේ සියලු කටයුතු අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියේ දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බැවින් මෙම කටයුතු ඊට පෙර අවසන් කරගත යුතුයි. මෙම කටයුතුවලින් පසු අපට ණය ගෙවිය හැකි රටක් බවට ලෝකය හමුවේ සහතිකයක් ලැබෙනවා. එවිට මෙතෙක් අපට නොලැබුණු ආධාර මුදල් නැවත අපේ රටට ලැබීම ආරම්භ වන අතර රටේ ඩොලර් ප්‍රමාණය ද වැඩි වෙනවා.”

මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරාධිපති කෑගලු මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වැලිවිට ශ්‍රී ජනානන්දාභිදාන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, කඩවත පදිංචි ඉඩම් හිමි වැවිලිකරු ජගත් සුමිත්‍ර කරුණාරත්න සහ මල්ලිකා කරුණාරත්න යන දෙපළගේ ධන පරිත්‍යාගයෙන් මෙම අභිනව බෝධිඝරය සහ රන්වැට ඉදිකර තිබේ.

ජගත් සුමිත්‍ර කරුණාරත්න සහ මල්ලිකා කරුණාරත්න යන දෙපළ වෙනුවෙන් සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහි දී ජනාධිපතිවරයා අතින් සිදු විය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDP World Foundation රාමසාන් සමයේදී කම්කරුවන්ට ඉෆ්තාර් ආහාර 360,000 කට වඩා සපයයි
Next Article රිච්මන්ඩ් මහින්ද “ආදරවන්තයින්ගේ ගැටුම ” එලඹෙන 24 දා අජ්මන් හිදී
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.