හමාස් සංවිධානයට එරෙහිව ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායලයේ රජයට එරෙහි විශාලතම විරෝධතාව පෙරේදා සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අති විශාල ඊශ්‍රායල ජනතාවක් ජෙරුසලමේ ඊශ්‍රායල පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල අවට එක්රොක් වී අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලා මෙම දැවැන්ත විරෝධතාව පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හමාස් සංවිධානය ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන මාස 6ක් ගතවූවද, ඊශ්‍රායල හමුදාවට මෙතෙක් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට
නොහැකි වීම හේතුවෙන් දැඩි කෝපයට පත්ව සිටින ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් ද එම විරෝධතාවට එක්ව සිටි බව වාර්තා වේ.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට හැකියාව පවතින එකම විසඳුම වන සටන් විරාමය වහාම ක්‍රියාත්මක කරන ලෙසත්, හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වන ලෙසත් ඉල්ලා ජනතාව උද්ඝෝෂණයේ නිරතව සිටින අතර, යුද ගැටුම්වලට මුවා වී අගමැතිවරයා තවදුරටත් බලයේ රැඳී සිටින බවට ද චෝදනා එල්ල කර ඇතැයි වාර්තා වේ.
හමාස් සංවිධානය ඊශ්‍රායලයට කඩා වැදී එරට වැසියන් ප්‍රාණ ඇපයට ගැනීමට තරම් ආරක්ෂක තත්ත්වය දුර්වල වීමත්, ගාසා තීරයේ නිරායුධ පලස්තීන වැසියන් ඝාතනය කිරීමෙන් ජාත්‍යන්තර අප්‍රසාදයට පත් වීමත් එරට ජනතාවගේ කෝපය වැඩි කිරීමට සමත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය අවධාරණය කර තිබේ.