හමාස් සංවිධානයට වාසිදායක අයුරින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතවන බවට චෝදනා කරමින් ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වන අල් ජසීරා රූපවාහිනි විකාශන කාර්යාලය එරට පොලිසිය විසින් වටලා ඇත. එහි තිබූ සියලු උපකරණ අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල පොලිසිය මේ පියවර ගෙන ඇත්තේ අල් ජසීරා ඊශ්‍රායල විකාශනය අත්හිටුවීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ එරට කැබිනට් මණ්ඩලය තීරණය කිරීමෙන් දිනකට පසුවය.

ඊශ්‍රායලය විසින් අල් ජසීරා රූපවාහිනි විකාශය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ හමාස් යුද ගැටුම් අතරතුර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විදේශිය රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතන තාවකාලිකව වසා දැමීමට පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත කරගැනීමෙන් පසුවය.

ජෙරුසලම් නුවර ඇම්බසඩර් හෝටලයේ පිහිටි අල් ජසීරා කාර්යාලයට ඇතුළු වූ පොලිස් නිලධාරින් එහි උපකරණ පරීක්ෂා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ඊශ්‍රායල සන්නිවේදන ඇමැති ෂ්ලොමෝ කර්හි විසින් එක්ස් සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි. අල් ජසීරා කාර්යාලය වැටලීම සහ විකාශය අත්හිටුවීම පිළිබඳ මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍ය සංවිධාන රැසක් ඊශ්‍රායලය දැඩි ලෙස විවේචනය කර ඇතැයි ද වාර්තා වේ. මේ අත්හිටුවීම වළක්වාලමින් එම තීරණයට අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඊශ්‍රායලයේ මානව හිමිකම් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ද ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Share.

Comments are closed.