ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පිරිනමන පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් තමාට ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු ඉල්ලීම සහ උපදෙස් සලකා බලමින් ඉතා ඉක්මනින් ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුද පැනනැඟීමට ප්‍රථම වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු සහ මූල්‍ය ආයතන ගිණුම් සඳහා වාර්ෂිකව 15% නොඉක්ම වූ පොලී ප්‍රතිශත පිරිනමා තිබුණත් මේ වන විට එම පොලී ප්‍රතිශත තනි ඉලක්කමේ ප්‍රතිශත බවට පත් වී ඇත. මේ තත්ත්වය නිසා පොලී ආදායමෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපහසුතාවන්ට පත්ව ඇති බව සඳහන් කරමින් තමාද දැනුවත් කර ඇතැයි රංජිත් සියඹලාපිටිය මහතා කීය.
ඊට අමතරව ඔවුන් මේ සම්බන්ධයෙන් වරින් වර ජනාධිපතිවරයාද දැනුවත් කොට ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මේ කරුණ පිළිබඳ සාවදානව සහ සානුකම්පිතව සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සවිස්තර වාර්තාවක් දෙන්නැයි ඉල්ලා සිටි බවද සියඹලාපිටිය මහතා පැවැසීය.