ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 17 වන වාරයේ අවසන් මහා තරගය හෙට (26) රාත්‍රි 7.30ට චෙන්නායිහිදී පැවැත්වේ. මෙම තරගාවලියේ ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 20ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 72ක්) හිමිවන අතර, අනුශූරයන්ට කෝටි 13ක් හිමි වෙයි.

තෙවැනි ස්ථානයට ඉන්දීය රුපියල් කෝටි 7ක් සහ සිව්වැනි ස්ථානයට කෝටි 6.5ක් හිමි වේ.

කල්වේලා ඇතිව මෙම තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් සමත් වූ අතර, මින් පෙර දෙවරක් (2012 හා 2014) ශූරයන් වී ඇති ඔවුන් 2021 වසරේ අනුශූරයන් බවට පත්වූහ.

මෙවර තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් කොල්කටා පිල පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) ජය ගෙන මේ තරගයට එක් විණි. එම තරගයෙන් පරාජය වූ  සන්රයිසස් හයිද්‍රාබාද් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසු විය. ඔවුන් යළිත් අවසන් තරගයට එක්වීමේ බලාපොරොත්තුවෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයට (Qualifier 2) එක් වූහ.
එම තරගය Eliminator තරගය ජයගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩයාම සමඟ පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ කණ්ඩායම් දෙකම මින් පෙර දෙවරක් බැගින් අවසන් තරගයට පිවිස ඇති අතර, 2008දී අයිපීඑල් පලමු ශූරයන් වූ රාජස්ථාන් පිල 2022දී අනුශූරතාව හිමි කර ගත්හ. 2016 වසරේදී ශූරතාව දිනාගත්තේ හයිද්‍රාබාද් පිලයි. ඔවුන් 2018දී අනුශූරයන් බවට පත්විය.

කොල්කටා පිල සමඟ අවසන් තරගයකදී හයිද්‍රාබාද් හෝ රාජස්ථාන් කණ්ඩායම එකිනෙකා හමුව නැත. මූලික වටයේදී සහ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී හයිද්‍රාබාද් පරාජය කිරීමට කොල්කටා පිල සමත් වූ අතර, රාජස්ථාන් පිල සමඟ පැවති තරගයක් පරාජය වෙද්දි එක් තරගයක් අත්හැර දැමිණි.

Share.

Comments are closed.