ශ්‍රී ලංකා රජයට අය විය යුතු බදු මුදල් රුපියල් කෝටි දහසකට (බිලියන 10කට) අධික මුදලක් අහිමි කරමින් රුපියල් කෝටි ගණනක වටිනාකමිකන් යුත් වාහන නීති විරෝධීව මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඒ වාහන නීති විරෝධිව ආනයනය කළ සියලු පුද්ගලයන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට ඊයේ (31) නියෝග කළේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියට නිති විරෝධී ලෙස දත්ත ඇතුළත් කළ මෙන්ම, එම වාහන ලියාපදිංචිය සිදු කළ නිලධාරීන් සහ මේ වාහන නිතී විරෝධිව ආනයනය කළ සියලු අය එලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරිණි. ශ්‍රී ලංකා රජයට අයවිය යුතු රුපියල් මිලියන 300කට අධික බදු මුදලක් අහිමි කරමින් මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි 10ක් වටිනා සුඛෝපභෝගී ජීප් රථ හයක් අත්අඩංගුවට ගෙන රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත භාර දෙන ලෙසද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට ඊයේ (31) අධිකරණ නියෝග නිකුත් විණි. මේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මේ කරුණු ඉදිරිපත් විය.
මේ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අල්ලස් කොමිසම සඳහන් කළේ නීති විරෝධී අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනකුද සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි වී ඇති බවයි. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 120 වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය නොවූ මිට්ෂුබිසි වර්ගයේ ජීප් රථය තුනක් සහ ටොයෝටා වර්ගයේ ජීප්රථ තුනක් සඳහාය. මේ මෝටර් රථ දෙක මෙරටට ආනයනය කිරීමේදී 235 වන අධිකාරියේ රේගු ආඥා පනෙත් 136 සහ 137 වැනි වගන්ති සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මේ වන විට සිවිල් පුද්ගලයන් භාරයේ ඇති අදාළ වාහන ශ්‍රී ලංකා රේගුව භාරයට ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි එම කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය. මේ වාහන හය මේ වන විට ගාල්ල, අවිස්සාවේල්ල, කුරුවිට, ත්‍රිකුණාමලය සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් කිහිප දෙනකු සතුව පවතින බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සුඛෝපභෝගී වාහන මෙරටට ගෙන්වීමේදී ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය කටයුතු සිදු නොවීමෙන් ලංකා රජයට මේ මුදල අහිමි කර දූෂණයක් සිදු කර ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්ත කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය විසිනි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකොට මෙරටට ගෙන්වා ඇති මෙම එක් වාහනයක් නිෂ්කාශනය කර ඇත්තේ වෙනත් භාණ්ඩ ගෙන්වන මුවාවෙන් බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකොට සුඛෝපභෝගී වාහන 200ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවට මේ වන විට විමර්ශනවලදී තහවුරු වී එම ඒකකය ඉකුත් 2023 වසරේ දෙසැම්බර් 8 දා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
මෙලෙස අධි චෝදනා ගොනු කරනු ලැබුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක වැඩසටහන් සම්පාදක කුකුළේ කංකානම්ලාගේ රෝහිත සමරවීර, එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහ පර්යේෂණ හිටපු කොමසාරිස් උදියාවත්ත, දඹදෙණියේ පදිංචි කළුදේවගේ බන්දුල ජයසිංහ, එහි විමර්ශන සහකාරවරුන් වන කදවල, කටානේ පදිංචි නිතීඥ මුණසිංහ ආරච්චිගේ උපුල් ප්‍රියන්ත ද සිල්වා, රෆායල් වත්ත, යක්කල පදිංචි මුත්තුංග මුදියන්සේලාගේ කේමන්ත මුත්තුංග, එම දෙපාර්තමේත්තුවේ ලිපිකරු පටිපන උතුර හෝමාගම පදිංචි නෙරළුව ගමගේ චන්න රෝහිත, මීගමුව පාර මැටියගනේ ලිපිනයැති රන්දි මෝටර්ස් හිමිකරු දිසානායක මුදියන්සේලාගේ ධර්මරත්න බණ්ඩා සහ කොළොන්යායවත්ත මැටියගනේ පදිංචි වලිසුන්දර මුදියන්සේලාගේ අජිත් කුමාර වලිසුන්දර යන අයටය.