එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ මැදිහත්වීම මත මෙරට ආයෝජනය සදහා සූදානම් බව එම කවුන්සිලය සදහන් කර තිබේ.
එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සාමාජිකයින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය. ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක ප්‍රවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එහි දී සාකච්ඡාවට ලක් විණි.

ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සිදුකරන සේවාවන් සහ ශ්‍රී ලංකාවේ මේ දිනවල පැවැත්වෙන කාර්මික ප්‍රදර්ශනය වෙනුවෙන් දැක්වූ සහභාගීත්වය පිළිබඳව විදේශ අමාත්‍ය අමාත්‍ය අලි සබ්රි මහතා ස්තූතිවන්ත විය. තවද කොවිඩ් 19 වසංගත සමයේ  එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ වත්මන් සභාපති සුරේන් ස්වාමිනාතන් මහතාගේ සේවය ද මෙහිදී ඇමතිවරයා ඇගයීමට ලක් කළේය. මෙම සාකච්ඡාව සහ හමුව සාර්ථක මෙන්ම ඉතා ඵලදායී හමුවක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමීර් රාජ්‍යයේ වෙළෙඳපොල ඉලක්ක කර ගත් නව ආර්ථික ප්‍රවේශයන්ට සමීපවීම පිළිබඳව සහ දැනට පවතින ගැටලු පිළිබඳවද එහිදී අවධානයට ලක්විය.
එමීර් රාජ්‍යයේ විශිෂ්ඨ ව්‍යාපාරිකයන් හදුන්වා දීම සදහා විකාශය වූ ‘සිහින සැබෑකරන ඩුබායි වැඩසටහන’ සහ රූපවාහිනී AI වැඩසටහන ද මෙහිදී එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල් ඇලෙක්ෂි ගුණසේකර මහතා ඇගයීමෙන් යුතුව සිහිපත් කළේය.

මෙම සාකච්ඡාව සදහා එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති සුරේන් ස්වාමිනාතන්, කවුන්සිලයේ අධ්‍යක්ෂ කපිල කරුණාරත්න, හිටපු අධ්‍යක්ෂ සහ යාවජීව සාමාජික රාම් පිල්ලේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ආර්. බී. ජී. මැණික්දිවෙල මහතා මෙම සාකච්ඡාවේ සම්බන්ධීකරණ සැලසුම් කටයුතු සිදු කළේය.

Share.

Comments are closed.

Exit mobile version