රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට කටකතා පැතිරුණ ‘බෙලූගා තල්මසෙකු’ (beluga whale) නෝර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රසිද්ධ තල්මසා හඳුන්වනු ලැබුවේ ‘Hvaldimir’ යන නමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය හ්වාල්ඩිමීර්ගේ සිරුර නිරිතදිග රිසාවිකා හි පාවෙමින් තිබියදී සොයාගත් අතර පරීක්ෂණ සඳහා ළඟම ඇති වරායට ගෙන යන ලද බවයි.

මෙම තල්මසා ප්‍රථම වරට නෝර්වීජියානු මුහුදේ දී දැක ඇත්තේ මීට වසර පහකට පෙර (2019 අප්‍රේල් මාසයේදී) ය. ඒ සවිකරන ලද GoPro කැමරාවක් සමඟිනි.

හ්වාල්ඩිමීර් නෝර්වීජියානු බෝට්ටු වෙත ළඟාවී තිබුණේ රුසියාවේ උතුරු බලඇණිය පිහිටා ඇති මර්මන්ස්ක් සිට කිලෝමීටර් 415 ක් පමණ දුරින් ඉන්ගෝයා දූපත අසල සිට බව සඳහන්. ඒ අනුවයි හ්වාල්ඩිමීර් ඔත්තු තල්මසෙකු විය හැකි බවට කටකතා පැතිර ගියේ.

හ්වාල්ඩිමීර්ගේ දර්ශනය එවකට වඩාත් අවධානයට ලක්වූයේ ඉහළ ආක්ටික් ප්‍රදේශයට දකුණින් බෙලූගස් වර්ගයේ තල්මසුන් කලාතුරකින් දක්නට ලැබෙන බැවින් බව සඳහන් ය.
පසුව මෙම සොයාගැනීම නෝර්වේහි අභ්‍යන්තර බුද්ධි ඒජන්සිය විසින් කරන ලද පරීක්ෂණයකට ද තුඩු දුන් අතර පසුව ප්‍රකාශ කළේ තල්මසා මිනිසුන්ට හුරුපුරුදු බව පෙනෙන පරිදි රුසියානු හමුදාව විසින් පුහුණු කර ඇති බවයි.

කෙසේ නමුත් එම චෝදනාවන්ට මොස්කව් වෙතින් කිසිදු පිළිතුරක් නොලැබීම ද විශේෂයක් බව වාර්තා වේ. අනතුරුව තල්මසා එරට තුළ ප්‍රසිද්ධියට පත් වූයේ ‘Hvaldimir’ ලෙසිනි. ඒ තල්මසා සඳහා නෝර්වීජියානු වචනයක් වන “hval” සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන වචනයේ එකතුවකිනි.

හ්වාල්ඩිමීර්ගේ අප්‍රාණික දේහය සති අන්තයේදී සොයාගෙන තිබුණේ Marine Mind නම් සංවිධානය විසිනි. එම සංවිධානය විසින් වසර ගණනාවක් තිස්සේ තල්මසාගේ චලනයන් නිරීක්ෂණය කරැති බව සඳහන්ය.

Marine Mind නිර්මාතෘ Sebastian Strand AFP ප්‍රවෘත්ති සේවය හමුවේ පවසා තිබුණේ, මරණයට හේතුව නොදන්නා බවත් හ්වාල්ඩිමීර්ගේ සිරුරේ පැහැදිලි තුවාල දක්නට නොමැති බවත්ය.
වාර්තා වල සඳහන් වන ආකාරයට තල්මසාගේ වයස අවුරුදු 15 ක් පමණ වන අතර, හ්වාල්ඩිමීර් බෙලූගා තල්මසෙකු වන හෙයින් ඔවුන්ගේ අවම ආයූ කාලය අවුරුදු 60 දක්වා විය හැකිය.
නමුදු වහල්භාවයේ දී ඔවුන් බොහෝ විට වයස අවුරුදු 30 ට පෙර මිය යන බව සඳහන්ය.

Share.

Comments are closed.