2024 පැරිස් පැරාලිම්පික් පිරිමි F 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් සමත් විය.

ඔහු මීටර 67.03ක දස්කම් දක්වමින් සමිත නියෝජනය කළ F 44 කාණ්ඩයේ නව ලෝක වාර්තාව ද පිහිටු වීය. ශ්‍රී ලංකාව 2024 පැරිස් පැරාලිම්පික් උලෙළේදී දිනූ පළමු පදක්කම ද මෙය බව වාර්තා වේ.

ඊයේ (02) රාත්‍රියේ පැවැත්වුණු F64 ඉසව්වට සහභාගී වූ සමිත විසින් සිය ඉසව්ව ආරම්භ කිරීමට මීටර් 63.14ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වුණි.

ඔහු F44 කාණ්ඩය යටතේ තරග වැදුණු අතර, F64 කාණ්ඩයෙන් තරග වැදුණු ඉන්දීය ක්‍රීඩක Sumit සහ F44 කාණ්ඩයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Michal Burian සමිත සමඟ කරට කර සටනක් ලබා දෙමින් ඉසව්වට අවතීර්ණ වූහ.

ඉසව්වේ සිව්වැනි උත්සාහය දක්වා සමිත තරගකරුවන් අතරේ තෙවැනි ස්ථානයේ රැඳෙමින් මීටර් 63 සීමාවේ රැඳී සිටි අතර, ඔහු එම සීමාව තරණය කිරීමට සිය පස් වැනි උත්සාහයේ දී සමත් විය.

F44 කාණ්ඩයේ මීට පෙර පැවති ලෝක වාර්තාව වූ මීටර් 66.49ක දුර ද සමිත විසින් මෙම වසරේ දී ම වාර්තා කළ එකක් වූ අතර, ඔහු සිය පස් වැනි උත්සාහයේ දී මීටර් 67.03ක දුරක් හෙල්ල විසි කරමින් එම ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විණි.

Share.

Comments are closed.