නිවෙස්වලට බෙදීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්‍ෂ 3ක් රටපුරා තැපැල් කාර්යාලවල ගොඩගැසී තිබූ බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.

පනස්දහසකට අධික පිරිසක් තම අනන්‍යතාව තහවුරු කර ඡන්ද දැන්වීම් පත්‍රිකා රැගෙන ගොස් ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
නිවෙස්වලට ගොස් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම මැතිවරණ නීතියට අනුව ඉකුත් 14 දා අවසන් කළ බව තැපැල්පතිවරයා පැවසීය.

ඡන්ද කාඩ් හිමිකරුවන් නිවෙස්වල නොසිටීම නිසාත් අත්සන් කොට ඒවා භාරදීමට නොහැකි වූ නිසාත් මෙසේ ගොඩගැසී ඇති ඡන්ද කාඩ් ළඟම තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාව තහවුරුකර ලබා ගැනීමට හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ඡන්දය පැවැත්වෙන අද (21) දිනද දිවයිනේ සියලු තැපල් කාර්යාල විවෘත බවත් තම අනන්‍යතාව තහවුරු කර එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවත් හෙතෙම කීය.

මීට දින කීපයකට පෙර තැපැල් කාර්යාලවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්‍ෂ 5කට අධික ප්‍රමාණයක් ගොඩගැසී තිබූ බව වාර්තා වේ.

Share.

Comments are closed.