ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පුද්ගලික අංශයට පවත්වාගෙන යාමට ලබා දුන් ඉන්ධන හල්වලින් බද්දක් අය කිරීමට ගත් තීරණය වසර 18 ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සංස්ථාවට අහිමිවූ අදායම රුපියල් කෝටි 30,000 කට අධික බව අනාවරණය වී ඇත.
සංස්ථාවට පමණක් අයත් ඉන්ධනහල් 300 ක් පමණ තිබෙන අතර ඒවායෙහි ඉඩම්, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි ආදිය සියල්ල පාලනය කෙරෙන්නේ සංස්ථාව විසිනි. සමුපකාර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් ඉඩම් බද්දට ගෙන සංස්ථාව විසින් ඉන්ධනහල් පවත්වාගෙන යන අතර,ඒවායෙහි බදු කුලිය ගෙවනු ලබන්නේද සංස්ථාව විසිනි.
සංස්ථාවට අයත් නොවන පුද්ගලික අංශයෙන් පවත්වාගෙන යන ඉන්ධනහල් සියලු වියදම් ඔවුන් විසින් දැරිය යුතුය. මාසික ඉන්ධන අලෙවියෙන් 3% ක කොමිස් මුදලක් සංස්ථාව විසින් පුද්ගලික ඉන්ධනහල්වලට ගෙවනු ලබයි.
සංස්ථාවට අයත් එහෙත් පුද්ගලික අංශයට පවරා තිබෙන ඉන්ධන හල් සඳහා ගෙවනු ලබන එම කොමිස් මුදල සියයට 2.75 කි. සංස්ථාවට අයත් සෑම ඉන්ධනහලකම මාස තුනකට වරක් තීන්ත ආලේපන කටයුතු සිදු කෙරෙන අතර එම කටයුතු සඳහා සංස්ථාව විසින් ඉතිරි සියයට 0.25 ක බදු මුදල ඉන්ධන හල්වලින් අයකර ගන්නේය.
කෙසේ නමුත් සංස්ථාවට අයත් ඉන්ධනහල් පුද්ගලික අංශය විසින් පවත්වාගෙන ගියද ඒවායෙහි ඉඩම් බදු, වරිපනම්, ජල ගාස්තු, විදුලි ගාස්තු සහ නඩත්තු කටයුතු ආදිය සියල්ල සිදු කරනු ලබන්නේ සංස්ථාව විසිනි. පුද්ගලික අංශයට පැවරී ඇත්තේ ඒවා පවත්වාගෙන යාම පමණි. මේ නිසා මෙම ඉන්ධනහල් වෙනුවෙන් සංස්ථාවට විශාල වියදමක් දැරීමට සිදුවී ඇති අතර, ඒවා පවත්වාගෙන යන පුද්ගලික අංශය අධික ලාභයක් උපයති.
සංස්ථාවට අයත් ඉන්ධනහල්වලින් කිසිදු මුදලක් අය නොකර පවත්වාගෙන යාම පාඩු බැවින් ඒවායින් බද්දක් අය කිරීමට සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ඉකුත් 2006 වසරේදී තීරණය කළේය. එම තීරණය 2013 වසර දක්වාම ක්‍රියාත්මක නොවීය. මෙම තීරණය නැවත ක්‍රියාත්මක කිරීමට අධ්යක්ෂ මණ්ඩලය 2013 වසරේදී තීරණය කළද එය 2022 වසර දක්වාද ක්‍රියාත්මක වී නැත.
සංස්ථාව විසින් සිය ආදායම් සොයාගෙන පවත්වාගෙන යායුතු බවට පසුගිය රජය දැනුම් දීමත් සමග නැවත 2022 වසරේදී එය ක්‍රියාත්මක කිරීමට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කළ අතර, එහිදී සංස්ථාව යටතේ පවතින ඉන්ධනහල් පවත්වාගෙන යන පුද්ගලික ව්‍යාපාරිකයන් විසින් අධිකරණයේ නඩුවක් ගොනුකර ඊට වාරණ නියෝගයක් ලබා ගත්තේය.
සංස්ථාවට අයත් ඉන්ධනහල්වලින් බද්දක් අය නොකිරීම පිළිබඳව පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර, අධ්යක්ෂ මණ්ඩල තීරණ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙස කාරක සභාව විසින් සංස්ථාවේ හිටපු සභාපතිවරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකුගේ සභාපතිත්වයෙන් යුතු තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් මේ සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කෙරිණි. එම කමිටුව විසින් කරන ලද විමර්ශන අනුව අතුරු වාර්තාව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට පසුගියදා ලබා දුන්නේය.