නෙදර්ලන්තයේදී කැනඩාවේදී ගුවන් යානා 2ක් ධාවන පථයෙන් ඉවතට පනී – මගීන් සහ කාර්ය මණ්ඩල ආරක්ෂිතව මුදා ගැනේ.

නෝර්වේ දේශයේ සිට නෙදර්ලන්තය බලා පියාසර කළ බෝයිං 737-800 වර්ගයට අයත් ගුවන් යානයක් ධාවන පථයේදී අනතුරට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ අනතුරට ලක්වී ඇත්තේ පසුගිය ඉරිදා උදෑසන දකුණු කොරියාවේදී අනතුරට ලක්වී ගිනිගැනීමෙන් ජීවිත 179ක් අහිමි කළ ගුවන්යානා වර්ගයට අයත් යානයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම අනතුර සිදුවී ඇත්තේ ඔස්ලෝ නුවර සැන්ඩිෆ්ජෝර්ඩ් ගුවන්තොටුපොළේ හදිසි ගොඩබැස්වීමකදී බවත්, ධාවන පථයෙන් ඉවතට ඇදී ගිය ගුවන් යානය තණ සහිත භූමියේ නිරුපද්‍රිතව නවතා ගැනීමට නියමුවන් සමත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මගීන් 176 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනකු රැගෙන ඔස්ලෝ නුවර ගුවන්තොටුපොළෙන් ඉහළ නැංවූ එම ගුවන් යානය හදිසියේ ගොඩ බැස්වීමට සිදුවී ඇත්තේ එහි හයිඩ්‍රොලික් තිරිංග පද්ධතියේ දෝෂයක් හට ගැනීම හේතුවෙන් බවද වාර්තා වේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් ද ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

නෙදර්ලන්තයේ ගුවන් යානය අනතුරට ලක්වීමේ සිදුවීමට පෙර කැනේඩියානු ගුවන් සේවයට අයත් දේශීය ගුවන් යානයක් ද ගොඩබැස්වීමේ ගියරය අක්‍රීය වීම හේතුවෙන් එරට හැලිෆැක්ස් ස්ටැන්ෆීල්ඩ් ගුවන්තොටුපොළේ හදිසි ගොඩ බැස්වීමේදී ගිනි ගැනීමට ලක්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. Bombardier Q400 වර්ගයට අයත් එම ගුවන්යානයේ ගින්න පැතිරීමට පෙර මැඬපැවැත්වීමට ගුවන්තොටුපොළේ ගිනි නිවන ඒකකය සමත්වී ඇතැයි ද, එහි ගමන් ගත් මගීන් 73 දෙනා සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අනතුරකින් තොරව මුදා ගැනීමට සමත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Share.

Comments are closed.

Exit mobile version