ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දහයක කරන ලද සමීක්ෂණයකදී පවුල් ඒකක සියයට 32 ක් සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයට මුදල් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණයවී ඇත.
“ආහාර මූලික කරගත් තොරතුරු හා ක්‍රියාකාරී ජාලය’’ (FLAN Sri Lanka) විසින් කරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
එම ආයතනයේ පර්‌යේෂණ නිලධාරිනී ෂෙහාරි විජේසිංහ විසින් මෙම සමීක්ෂණය කර තිබේ. ඉකුත් වසරේ (2024) මැයි, ජූනි සහ ජූලි යන මාසවලදී මෙම සමීක්ෂණය සිදුකර ඇත.
මුලතිව්, මන්නාරම, මඩකලපුව, බදුල්ල, රත්නපුර, ගාල්ල, නුවරඑළිය, කොළඹ, අනුරාධපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ක් ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ මහරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සමීක්ෂණයට තෝරාගත් ප්‍රදේශයන්ය.
මෙම සමීක්ෂණය සඳහා ඉහත දිස්ත්‍රික්කවලින් පවුල් ඒකක 1,352 ක නියැදියක් තෝරාගෙන කණ්ඩායම් වශයෙන් ප්‍රශ්න කර ඇත. මෙම සමීක්ෂණයට ලක්කළ කණ්ඩායමෙන් සියයට 34.3 ක් කෘෂිකර්මාන්තයේ නිරත වූවන්ය.
එහිදී අනාවරණයවී ඇත්තේ සමස්ථ නියැදියෙන් සියයට 62 කට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවත්, සියයට 57 කට ආසන්න පිරිසකට ආහාර සුරක්ෂිතතාවය නොමැති බවත් මෙහිදී අනාවරණය වී ඇත.
මෙම නියැදියෙන් සියයට 35 ක නිවෙස් හිමියන් මාසික ආදායම රුපියල් 49,589 කට වඩා අඩු අයවලුන්ය. සමීක්ෂණයට තෝරාගත් පිරිස සිය ආදායමින් සියයට 42 ක් ආහාර සපයා ගැනීම සඳහා වැය කරන අතර, සෞඛ්‍ය සඳහා වෙන්කර ඇත්තේ සියයට 6 කි. එමෙන්ම, අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ සියයට 9 කි.
සමීක්ෂණයට ලක් කළ නිවෙස් හිමියන්ගෙන් සියයට 60 ක්ම දුම්වැටි, මත්පැන් පානයට ඇබ්බැහි වී සිටිති.
මෙම සමීක්ෂණය කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී ඊයේ (09 වැනිදා) එළිදක්වන ලදී. ඊට සහභාගිවූ මහාචාර්ය රේණුක ද සිල්වා කියා සිටියේ මෙම සමීක්ෂණයට තෝරාගෙන ඇත්තේ සාමාජීය සහ ආර්ථික ගැටලු සහිත කණ්ඩායම් බවය.
සමීක්ෂණයට ලක් කළ කණ්ඩායමෙන් සියයට 31.7 ක් ආහාර මිලදී ගැනීම සඳහා ණය මුදල් ලබාගෙන තිබෙන බවත්, රන් ආභරණ උකස් කිරීම, තමන් සතු දේපොළක් විකිණීම, ණයට මුදල් ලබාගැනීම ආදියෙන් ආහාර සඳහා මුදල් සොයාගෙන තිබෙන බව ද ඔහු කියා සිිටියේය. වර්තමානයේදී සහල් මිල ඉහළ ගොස් ඇතත් ජනතාව බත් පාරිභෝජනය අඩුකර නැතැයි ද ඔහු පැවැසීය. ශ්‍රී ලංකාව සඳහා ආහාර මාර්ගෝපදේශ සකස් කර ඇතත්, එය ජනතාව අතරට ගොස් නැති බවත්, ජාතික පෝෂණ ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් සිදුකරන ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් නොවන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.
එක් එක් අමාත්‍යාංශ තමන්ට ඇවැසි පරිදි කටයුතු කර ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීමට නොහැකි බවද ඔහු පැවැසීය.