විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, වසර පහකට අඩු කාලයකදී ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

මස්ක්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය දැනටමත් ඔහුව ලෝකයේ වඩාත්ම බලගතු, ධනවත් සහ මතභේදාත්මක පුද්ගලයෙකු බවට පත් කර තිබේ.
දැනට ඔහුගේ වාර්තාගත වත්කම ඩොලර් බිලියන 430 කට වඩා වැඩි බව සඳහන් වේ.

ඊයේ (19) නිකුත් කරන ලද ‘The Oxfam’ වාර්ෂික වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ, බිලියනපතියන් අභිබවා පළමු ට්‍රිලියනපතියන් මේ වන විටත් සිය ගමන ආරම්භ කර ඇති බවය. ඒ අනුව වත්මන් ප්‍රවණතා දිගටම පැවතුණහොත් ඉදිරි දශකය තුළ පුද්ගලයින් පස් දෙනෙකු අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 1 ක ධනයක් රැස් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එහි පළමු තැන එලෝන් මස්ක් හට හිමිවෙද්දී ඔහුට සාපේක්ෂව ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්, ඔරකල් නිර්මාතෘ ලැරී එලිසන්, මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සහ LVMH ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් ඊට එක්වෙනු ඇත

‘The Oxfam’ වාර්ෂික වාර්තාව සැකසී ඇත්තේ, ෆෝබ්ස් විසින් සම්පාදනය කරන ලද දත්ත මත පදනම්වය. එහි නවතම වාර්තාව නිකුත් කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට පෙර දින සිදුවීම වඩාත් සුවිශේෂී කාරණයක් වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

‘The Oxfam’ වාර්තාවට අනුව, 2024 වසර ලෝකයේ ධනවත්ම පුද්ගලයින් සහ පවුල් සඳහා ඉතාමත් සුබවාදී වසරක් වී ඇත. ඔවුන්ගේ ශුද්ධ වටිනාකම කෙතරම් වේගයෙන් ප්‍රසාරණය වී ඇත්ද යත්, ගෙවුණු වසරේ ඔක්ස්ෆෑම් වාර්තාවේ සඳහන් වූයේ ‘ඉදිරි දශකය තුළ එක් ට්‍රිලියනපතියෙකු පමණක් කිරුළු පළඳිනු ඇති’ බවයි. නමුදු මේ වන විට එය 5 ක් දක්වා වර්ධනය වී තිබේ.

විදෙස් වාර්තාවන්ට අනුව පසුගිය වසරේ බිලියනපතියන්ගේ ශ්‍රේණිගත කිරීම් 200 කට වඩා වැඩි වී ඇති අතර එය මේ වන විට 2,770 කට ආසන්න ය. ඒ අතර බිලියනපතියන් 816 ක් ජීවත් වන්නේ එක්සත් ජනපදයේ වීම විශේෂ ය.

මේ අතර පසුගිය සතියේ ඕවල් කාර්යාලයේ සිට කළ සිය සමුගැනීමේ කතාවේදී, ජනාධිපති ජෝ බයිඩ්න් අවධාරණය කර තිබුණේ “ඉතා ස්වල්ප දෙනෙක් අතිශය ධනවත්ව, ජනතාව අතර බලය සංකේන්ද්‍රණය වීම” අනතුරුදායක විය හැකි බවයි.

Share.

Comments are closed.

Exit mobile version