ශ්‍රී ලංකා – එක්සත් රාජධානි සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් එක්සත් රාජධානියේ ඉන්දු – පැසිෆික් කලාපය සඳහා වූ ඇමැතිනී කැතරින් වෙස්ට් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියාය.
ශ්‍රී ලංකාව සමඟ එක්සත් රාජධානියේ සහයෝගීතාව ශක්තිමත් කිරීම හා රටේ දියුණුව ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් ඒ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ද ඊයේ (26) පස්වරුවේ ඇය මෙරටට පැමිණි බව ද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
එක්සත් රාජධානියේ අභිනවයෙන් පත් වූ ආණ්ඩුවේ ප්‍රථම නිල සංචාරයේ කොටසක් වශයෙන්, එක්සත් රාජධානියේ ඉන්දු – පැසිෆික් කලාපය සඳහා වූ ඇමැතිවරිය ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරුන් හමුවීමට නියමිතව තිබෙන අතර ඒ මහත්මියගේ මෙම සංචාරයේ ප්රමුඛ අරමුණ වන්නේ සාර්ව ආර්ථික වර්ධනය, දූෂණ විරෝධය, මානව හිමිකම් සහ ජාතික ප්රතිසන්ධානය ද ඇතුළත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම බව ද එම මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර වෙෙළඳාම් කටයුතු සඳහා රුකුල් දෙන ආකාරයේ නව අපනයන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් පියවර ගැනීමට ද ඇය සැලසුම් කරන අතර සියලු පාර්ශ්ව ඇතුළත් ආර්ථික වර්ධනය, දූෂණ විරෝධය, මානව හිමිකම් සහ ජාතික ප්රතිසන්ධානය සිය න්‍යාය පත්‍රයේ අන්තර්ගත කරමින්, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ රජයේ වෙනත් ප්රමුඛපෙළේ ඇමැතිවරු හමුවීමට එක්සත් රාජධානියේ ඉන්දු – පැසිෆික් කලාපය සඳහා වූ ඇමැතිවරිය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙය, දෙරටේම අභිනවයෙන් පත්වූ ආණ්ඩු යටතේ අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම සංචාරය වන අතර එක්සත් රාජධානියේ හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල අභිවෘද්ධිය නිමිති කරගෙන, එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර පවතින වෙෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට ද ඒ මහත්මිය කටයුතු කරනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙෙළඳ වැඩසටහන (DCTS) හරහා එක්සත් රාජධානියේ වෙෙළඳපොළට වඩාත් හොඳ ප්‍රවේශයක් ලබාදීමට උපකාරී වන ආකාරයෙන්, නව අපනයන කාර්යපටිපාටිය පිළිබඳ අත්පොත් එළි දැක්වීමට ද කැතරින් වෙස්ට් මහත්මිය අපේක්ෂා කරයි.
මානව අයිතිවාසිකම්, ප්රතිසන්ධානය, දේශගුණ විපර්යාසයන්ට සාර්ථකව මුහුණදීම සහ සුළුතර ප්රජාවන්ගේ අයිතිවාසිකම් සඳහා එක්සත් රාජධානිය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳ අවධාරණය කිරීම පිණිස යාපනයේ සංචාරයක නිරත වීමට ද ඒ මහත්මිය බලාපොරොත්තු වන අතර ජනවාර්ගික අර්බුදයෙන් පසු පුනරුත්ථාපන කටයුතුවල යෙදී සිටින ප්‍රාදේශීය දේශපාලන නායකයන් සහ සිවිල් සමාජ සංවිධාන හමුවීම ද මෙම සංචාරයේ තවත් අරමුණකි.
එමෙන්ම භූගත ජලය ක්ෂය වීමත්, ඉන් කෘෂිකර්මයට සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඇති වන බලපෑම්වලට සෘජුවම පිළියම් සැපයීම සඳහාත් විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලයෙන් (FCDO) අරමුදල් සපයන එකම දේශගුණ අනුර්වර්තන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට ද ඒ මහත්මිය අපේක්ෂා කරයි.
ඉන්දු-පැසිෆික් කලාපය සඳහා වූ ඇමැතිනී කැතරින් වෙස්ට් මහත්මිය පෙන්වා දෙන්නේ
“මගේ ප්‍රථම නිල සංචාරය වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමත්, නව ආණ්ඩුව පිහිට වූ වහාම ඔවුන් හමුවීමට ලැබීමත් ඉමහත් සතුටට කරුණක්. ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති මගේ ඡන්ද කොට්ඨාස සාමාජිකයන් ශ්‍රී ලංකාව පිළිබඳ විස්තර මා සමඟ බෙදාගත්තා. මම ඔවුන්ගේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳ තිබෙනවා. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ක්‍රියාශීලී නවීන සහයෝගිතාවක් වෙෙළඳාම, ආර්ථික වර්ධනය සහ අධ්‍යාපනය හරහා අපේ සබඳතාව වර්ධනය කිරීමට අප සතු හැකියාව පිළිබඳ වැඩිදුරටත් වීමසා බලන්නට මම උනන්දුවෙන් සිටිනවා.
තිරසර වර්ධනය සඳහා සමාජීය සහ ආර්ථික සංවර්ධනය සතු භූමිකාව අතිශයින් වැදගත් බව මම විශ්වාස කරනවා. දූෂණයට වැට බැඳීම, දිගුකාලීනව නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ද ඇතුළුව මානව අයිතිවාසිකම්වල ප්රගමනයට සහාය දීම සහ දේශගුණය හා පරිසරය මත ඇති වන බලපෑම් සම්බන්ධයෙන් පියවර ගැනීමට එක්සත් රාජධානිය දැඩි සේ කැප වී සිටිනවා “යනුවෙනි.