ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ද්විත්ව ශතකයක් හා ශතක දෙකක් ලබා ගනිමින් සිය ලකුණු පුවරුව ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක වැඩිම ලකුණු වාර්තාව පසු කර ඇත. සංචාරක පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (30) ඔස්ට්‍රේලියානු පිල කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 654ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ අතර, දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 44ක් ලබා සිටියේය.
ආරම්භක පිතිකරුවන් වූ ඕෂධ හා දිමුත් යන දෙදෙනාම අසාර්ථක වෙද්දී මැතිව්ස්ට ද ඒ ආකාරයේ ඉරණමක් අත්වී ලකුණු 7කට දැවී ගියේය. ලෝක ටෙස්ට් පිටියේ නැඟී එන ක්‍රීඩක සම්මානය දිනූ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 13ක් හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 9ක් ලබා දිනය නිමාවෙද්දී කඩුල්ලේ රැඳී සිටියහ.
ඔස්ට්‍රේලියානු පිලේ ප්‍රහාරය දැඩි වූ අතර ඉනිම පුරා හයේ පහර 6ක් හා හතරේ පහර 54ක් එල්ල කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ ටෙස්ට් තරගයේ පළමු දිනයේ ඔස්ට්‍රේලියාව කඩුලු 2කට ලකුණු 330ක් ලබා සිටි අතර, ඊයේ දෙවැනි දිනයේ තවත් කඩුලු 4ක් දැවී ලකුණු 324ක් එක්කර ගත්තේය.
ඒ සමඟම මෙයට වසර 30කට පෙර ඔස්ට්‍රේලියාව පර්ත්හිදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5කට ලකුණු 617ක් ලබා පිහිටුවා තිබූ ඉනිමක වැඩිම ලකුණු වාර්තාව ඊයේ මැකී ගියේය.
ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ද්විත්ව ශතකයක්, නායක ස්ටීව් ස්මිත් හා මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ජොස් ඉංග්ලිෂ් ශතක වාර්තා කරමින් ඔස්ට්‍රේලියාව ඉහළට ඔසවා තැබූහ.
මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ජොස් ඉංග්ලිෂ් ටෙස්ට් පිටියේ එවැනි දස්කමක් දැක්වූ 118 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූවේය.