මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නැවත ආරම්භ කරමින් කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත්කිරීමට වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ යන විෂය භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාව පත්කර තිබේ. මෙම පත්කිරීමට අදාල නියෝගයන් ඊයේ (09) වැඩ බලන පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලැබීය.
අසංක කරවිට මහතා මේ වන විට සේවයේ නිරතව සිටින්නේ ප්‍රජා පොලිස් , සංචාරක සහ ආයෝජන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසය. නව අංශය භාරව ඔහුව පත්කර ඇත්තේ ලබන 12 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙසය.
රත්නපුර දිසාව භාරව මේ වන විට සේවයේ නිරතව සිටින පවිත්‍ර දයාරත්න මහතා මූල්‍ය අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත. මෙම පත්කිරීමද ලබන 12 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස පත්කර තිබේ.
ඉදිරි දින කිහිපය තුළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අධ්‍යක්ෂවරයෙක් පත්කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගැසට්කර බලාත්මක කරනු ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
මේ අතර බස්නාහිර පළාත් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇත.