දකුණු කොරියාවේ දකුණුදිග පළාත් ආශ්‍රිතව දින ගණනාවක් පුරා පැතිරෙන ළැව් ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් 19 දෙනකු තුවාල ලබා ඇතැයි කොරියා හැරල්ඩ් පුවත් සේවය වාර්තා කළේය.

එම පළාතේ ගොඩනැඟිලි 200ක් පමණ ළැව්ගින්නෙන් විනාශ වී ඇති අතර, වසර 1,300ක් පැරැණි බෞද්ධ සිද්ධස්ථානයක් ද ගින්නට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වූ බව වාර්තා වේ. ළැව් ගින්න මැඬපැවැත්වීමට යොදා තිබූ හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි නියමුවා ද ජීවිතක්ෂයට පත්වී ඇති අතර, මෙය දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුතම ළැව් ගින්න බව එරට වැඩබලන ජනාධිපති හැන් ඩක් සූ ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

එරට ආපදා කළමනාකරණ බලධාරීන්ට අනුව වියළි කාලගුණය සහ අධික සුළං තත්ත්වය ළැව්ගින්න වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇතැයි ද කොරියා හැරල්ඩ් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

පවතින තත්ත්වය මත දකුණු පළාත්වාසීහු තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් කොරියා හැරල්ඩ් පුවත් සේවය සඳහන් කරයි. පසුගිය සිකුරාදා ආරම්භ වූ ළැව් ගින්න පෙරේදා වන විට දකුණුදිග පළාතේ අක්කර 43,330ක් පමණ විනාශ කර ඇති බවත්, නිවාස, කර්මාන්තශාලා සහ රථ වාහන දේපළ විශාල ප්‍රමාණයක් ඊට හසුවී ඇතැයි වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version