සිරි දළදා වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමේ මහඟු අවස්ථාව අද (18) සිට පුරා දින දහයක් පුරාවට ජනතාවට අවස්ථාව හිමි වේ. දළදා මාලිගාවේ සහ බැතිමතුන්ගේ ආරක්ෂාව, බැතිමතුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන හා සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු අංශ කෙරෙහි අවධානය යොමුකර රජය සහ ශ්‍රී දළදා මාලිගාව ඒකාබද්ධව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත.
දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හොබවන මල්වතු, අස්ගිරි උභය මහා විහාරයීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හා ගිහි භාරකාරත්වය හොබවන දියවඩන නිලමේවරයා දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීම අද (18) දහවල් සිදු කිරීමට නියමිතය. මෙහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි වීමට නියමිතය.
විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් ද එක් වීමට අපේක්ෂා කරන අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් කැටුව යෑමට කටයුතු සූදානම් කර තිබේ.
ආරම්භක දිනය වන අද (18) දින ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට අවස්ථාව සලසාදි තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වනු ඇත.
කරඬු හතක් තුළ තැන්පත් කර තිබෙන ශ්‍රී දළදා වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පිටතට වැඩමකර මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත භාර දෙනු ලබයි. අනතුරුව උන්වහන්සේ වජ්‍රමය කරඬුවක දළදා වහන්සේ තැන්පත් කිරීමෙන් පසු දියවඩන නිලමේවරයා දළදා වහන්සේ පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවන බවත් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.
මෙයට පෙර තත්ත්පරයකට තිදෙනකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවට ගණන් බලා තිබුණ ද මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසන මත දියවඩන නිලමේවරයාගේ මැදිහත් වීමෙන් වැඩි පිරිසකට දළදා වහන්සේ වන්දනා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණයකර දී තිබෙන බවත් ඒ අනුව තත්ත්පරයකට 8 – 10ත් පිරිසකට දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිවනු ඇතැයි අනුමාන කරන බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා කීය.
එසේ වුවහොත් අවම තරමින් ලක්ෂ 15 – 20 අතර පිරිසකට දළදා වහන්සේ වන්දනා කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි පොලීසිය අනුමාන කරයි.