අසිරිමත් සම්බුදු තෙමගුල සිහි කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025– ඩුබායි වෙසක් මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතී.

පෙර වසරේ මෙන්ම මෙවරද වෙසක් මංගල්‍ය​ය පැවැත් වෙන්නේ ඩුබායි , අල් කූස් හි Springdales පාසල් ක්‍රීඩාංගනයේදීය. මැයි 10 වනදා සවස 4.30 ට අලංකාර පෙරහරකින් මෙම වැඩසටහන ආරම්භ වේ.

වෙසක් අසිරිය ලොවට විදහා පාමින් වෙසක් පහන් කූඩු, බොදු බැති ගී, වෙසක් නර්තනාංග, නාට්‍ය සමගින් මෙවර වෙසක් මංගල්‍යය සැදැහැ සිතින් සැමරීමට සංවිධායක මණ්ඩලය සූදානම් වෙති.

මීට සමගාමීව දන්සැල් රැසක්ද මෙදින පැවැත්වීමට නියමිතය. සිසිල් බීම දන්සැල් 3 ක්, පානීය ජලය බෙදා දීමේ දන්සැල් 2, මඤ්ඤොක්කා දන්සලක්, අයිස් ක්‍රීම් දන්සැල් 3 ක්, ශෝට් ඊට්ස් දන්සැල් 3 ක්, කඩල දන්සැල් 2 ක්, පාන් සමඟ සීනි සම්බෝල දන්සැල් 3 ක්, අයිස් කෝපි දන්සලක්, යෝගට් දන්සලක්, රොටී දන්සලක්, බත් දන්සලක් හා ෆෘට් සැලඩ් දන්සලක් මීට ඇතුලත්ය.

මෙම සද්කාර්යය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත, ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය විසිනි. ඩුබායිහි ක්‍රියාත්මක වන සියලුම ශ්‍රී ලාංකි​ක කලා ආයතන, ශ්‍රී ලාංකි​ක ස්වෙච්ඡා ආයතන හා ශ්‍රී ලාංකි​ක වෘත්තී​ය සංවිධාන විසින් මේ සඳහා පූර්ණ සහයෝගය ලබා දේ. මෙම අවස්ථාවට සුදු වතින් සැරසී පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය සැදැහැ සිතින් ආරාධනා කරයි.

Share.

Comments are closed.

Exit mobile version