ඉන්දීය ක්‍රිකට් තරුව විරාත් කෝලි ජනප්‍රිය ක්‍රීඩා ඇඳුම් හා පාවහන් නිෂ්පාදන සමාගමක් වන පූමා ආයතනය ලබාදීමට යෝජනා කළ ඉන්දීය රුපියල් කෝටි 300ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1050ක) පමණ දැවැන්ත මුදලක් ප්‍රතික්ෂේප කර තිබේ.

කෝලි වසර 2017 දී පූමා සමාගම සමඟ ඇති කරගත් ඉන්දීය රුපියල් කෝටි 77.3 ක (ශ්‍රී ලංකා රුපියල් 271) කොන්ත්‍රාත්තුව මේ වසරේ අවසන් වන හෙයින් නව කොන්ත්‍රාත් ගිවිසුම යෝජනා කළද කෝලිගේ එකඟතාව හිමිව නැත.

ඔහු පූමා ඇඳුම් සන්නාමය සමඟ ඇති කර ගත් ගිවිසුම අලුත් නොකොට ඔහු විසින්ම ආයෝජනය කළ ක්‍රීඩා ඇඳුම් සහ පාවහන් නාමයක් වූ ‘One8’ විශාල පරිමාණයකින් ව්‍යාප්ත කිරීමට අදහස් කොට ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර ඇත. ඔහු නව ක්‍රීඩා ඇඳුම් සමාගමක් වන ‘ඇජිලිටස්’ ආයතනයේද මුදල් ආයෝජනය කර ඇති අතර, ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ පූමා හිටපු කළමනාකාර අධ්‍යක්ෂ අභිෂේක් ගංගුලිගේ ඉල්ලීම අනුව එය සිදුව තිබේ.

කෝලිගේ මේ වන විට ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ ඔහුගේ සමාගමක් වන ‘One8’ සන්නාමය ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමය. ඔහුගේ වෙළඳ නාමය වන ‘One8’, පූමා සමඟ හවුල්කාරිත්වයෙන් දියත් කරන ලද අතර ‘පූමා One8’ ලේබලය යටතේ ක්‍රීඩා ඇඳුම් සහ පාවහන් අලෙවිකොට ඉන්දීය රුපියල් කෝටි 250ක් පමණ උපයා ගත්තේය. කෝලිගේ තීරණයට හේතු වී ඇත්තේ ව්‍යාපාරවල වැඩි පාලනයක්, වැඩි වාසියක් සහ වැඩි අනන්‍යතාවයක් තමා සතු කර ගැනීමට බව සඳහන් ය.

Share.

Comments are closed.

Exit mobile version