ප්‍රාදේශීය සංවර්ධනය උදෙසා පළාත් සභා මඟින් සිදු කරනු ලබන විවිධ ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණ පත්‍ර (BOQ) මහජනතාවගේ දැනගැනීම පිණිස වැඩබිම්වල ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නැයි දැනුම් දෙමින් මුදල් කොමිෂන් සභාව සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ගොඩනැඟිලි, මාර්ග, කානු පද්ධති, පාලම්, බෝක්කු, වැව්, අමුණු, ඇළවේලි, සතිපොළ, අපද්‍රව්‍ය කළමනාකරණ අංගණ වැනි සියලු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාණ පත්‍ර (BOQ) ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ උපදෙස් මත එහි ලේකම්වරයා විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

මහජන මුදල් වැය කරනු ලබන සියලු ක්‍රියාකාරකම්වල විනිවිදභාවය, වගකීම, වගවීම හා ගුණාත්මකභාවය පවත්වා ගැනීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

ප්‍රාදේශීය සංවර්ධන ඉලක්ක කර ගත් ඇතැම් ඉදිකිරීම්වල ගුණත්මකභාවය ඉතා පහළ මට්ටමක පවතින නිසා අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත්ව සම්පත් අපතේ යෑම සිදුවන බව වාර්තා වී ඇතැයි පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභා රැස්වීමකදී අනාවරණය විය.

මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා පවසන්නේ අදාළ ඉදිකිරීම් නිසි පරිදි ගුණත්මකව සිදු වන බවට තහවුරු කර ගැනීමට නම් එම ඉදිකිරීම් සිදු කරන විට ඒ පිළිබඳව මනා අධීක්ෂණයක් හා නිතිපතා පසුවිපරමක් හා මෙහෙයවීමක් සිදු කිරීම අවශ්‍ය බවය. වැය කරන මුදල්වලින් ගුණාත්මක භෞතික සම්පත් නිර්මාණය කර අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකි බන බව තහවුරු වන්නේ යැයිද මුදල් කොමිෂන් සභාවේ ලේකම්වරයා කියයි.

එමෙන්ම මේ ඉදිකිරීම්වල ගුණාත්මකභාවය පවත්වා ගැනීම පිළිබඳව ක්ෂේත්‍ර මට්ටමින් අධීක්ෂණය කරන වැඩ පරිපාලකවරුන්ට, කාර්මික නිලධාරීන්ට, ඉංජිනේරුවන්ට, සැලසුම් ශිල්පීන්ට, විෂය භාර නිලධාරීන්ට, ගෙවීම් කරනු ලබන නිලධාරීන්ට මෙන්ම ප්‍රතිලාභ ලාභීන්ට, මහජන නියෝජතයන් ඇතුළු කණ්ඩායම්වලට තම වගකීම් ඉටු කිරීමේදී ප්‍රමාණ පත්‍ර (BOQ) ප්‍රදර්ශනය කර තැබීම සහනයක් වනු ඇතැයි ද පවසයි.

Share.

Comments are closed.

Exit mobile version