ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාකයක් වන තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පැවැතියද, පසුගිය කාලයේදී තැඹිලි අපනයනයට අදාළ මුදල් ගනුදෙනු රැසක් උණ්ඩියල් ක‍්රමයට සිදුවීම නිසා ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිවූ බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා පවසනවා.

ඩුබායි වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා පැවැති ඉල්ලුම තුන් ගුණයකින් පමණ මේ වන විට ඉහළ ගොස් ඇති බව ​ඒ මහතා වැඩිදුරටත් ස​ඳහන් කලා.

ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරියේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව ස​ඳහන් කළේ.

ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සැකසීම නිසා මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තැඹිලි ගෙඩියක් සඳහා වරායේදී ඩොලර් 0.8 ක් ලැබෙන බවයි සභාපතිවරයා ස​ඳහන් කළේ.

එමෙන්ම, ඩුබායි වෙළෙඳ පොළේ තැඹිලි ගෙඩියක් රුපියල් 500 ක් වැනි මිලක​ට අලෙවි වන බව සඳහන්. 

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කරන තැඹිලි ගෙඩියක් වෙරළ කලාපයේ රුපියල් 2500 ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවද සඳහන්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රී ලංකාවෙන් සතියකට තැඹිලි ගෙඩි 2,52000 ක් පමණ අපනයනය කරනු ලබනවා.

Share.

Comments are closed.