පසුගිය වසරේ ඩුබායිහි දියත් කරන ලද තිරසාර ව්‍යාපෘතියක් වන “Dubai Can” මගින්, මාස 12ක් තුළ මිලි ලීටර් 500ක තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලියන 7කට වඩා ප්‍රමාණයක් භාවිතය අඩු කර තිබෙනවා. නගරය පුරා නොමිලේ සිසිල් පානීය ජලය ලබා දෙන ස්ථාන 50 ක් ස්ථාපනය කිරීමත් සම​ග නිවාස, කාර්යාල, හෝටල් සහ පාසල්වල සහභාගීත්වය මගින් මෙම මුලපිරීම කොට තිබෙනවා.

“Dubai Can” එහි හවුල්කරුවන්ගේ සහ අනුග්‍රාහකයන්ගේ සහාය ඇතිව පොදු උද්‍යාන, වෙරළ සහ ජනප්‍රිය සංචාරක ගමනාන්තවල ජල​ය ලබා දෙන ස්ථාන පිහිටුවා ඇත. මේ අතර කයිට් බීච්, ඩුබායි මරීනා සහ ඩුබායි ඩවුන්ටවුන් ඇතුළත් වෙනවා. මෑතකදී Hatta, Dubai Sports City, Port Rashid සහ Dubai Internet City හි අමතර ස්ථාන හතරක්​ද ඊට එකතු කරන ලදි.

නගරය පුරා ඇති මෙම සියලුම ජල ස්ථාන “ඉහළම සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන අතර නාගරික, සෞඛ්‍ය සේවා සහ ෆෙඩරල් රෙගුලාසිවලට දැඩි ලෙස අනුකූල වේ.” මෙමගින් දේශීය, ගල්ෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂා කරනු ලබන පිරිසිදු සහ ආරක්ෂිත පානීය ජලය සපයනු ලැබේ.

බොහෝ පෞද්ගලික සමාගම් තම කාර්යාලවල​ද ජල​ය ලබා දෙන ස්ථාන සවි කර ඇති අතර, මෙමගින් රැකියා ස්ථානයන්හි තනි භාවිත ප්ලාස්ටික් අඩු කර ඇත.

මෙම මුලපිරීම 2022 ජූනි 1 දින සිට බලාත්මක වූ තනි භාවිත ප්ලාස්ටික් බෑග් තහනම් කිරීම සමඟ සමපාත වෙනවා.

ඩුබායි හි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුවේ (DET) ආයතනික උපාය මාර්ග සහ කාර්ය සාධන අංශයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී Yousuf Lootah මෙසේ පැවසීය “මෙම වැඩසටහන ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වන අතර මෙම වසර තුළ සහ ඉන් ඔබ්බට එය ක්‍රියාත්මක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ලොව ප්‍රමුඛතම ගෝලීය නගර තුනෙන් එකක් ලෙස ඩුබායි එහි තත්ත්වය තහවුරු කිරීමේදී ඩුබායි ආර්ථික න්‍යාය පත්‍රය D33 හි ඉලක්කයට දායක වන හරිත භාවිතයන් සහ ජීවන රටා තේරීම් අනුගමනය කිරීමට පදිංචිකරුවන් සහ සංචාරකයින් දිරිමත් කිරීම මෙම වැඩපිළිවෙල තුලින් දිගටම කරගෙන යනවා.”

මෙම මුලපිරීම මගින් පසුගිය වසර පුරා පුද්ගල සහ ප්‍රජා මට්ටමින් “සැලකිය යුතු වෙනසක්” ඇති කර තිබෙනවා. එහි පරමාර්ථය වන්නේ එක් වරක් භාවිත කළ හැකි ප්ලාස්ටික් වල හානිකර බලපෑම් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සහ නැවත භාවිත කළ හැකි බෝතල් භාවිතය ප්‍රවර්ධනය කිරීමයි.

මෙම මුලපිරීම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UNSDGs) සාක්ෂාත් කර ගැනීම සහ පූර්ණ තිරසාර ගමනාන්තයක් බවට පත්වීම සඳහා ඩුබායි හි කැපවීම සමඟ අනුකූල වෙනවා, විශේෂයෙන්ම ඩුබායි නගරය මෙම වසරේ COP28 හි සත්කාරකත්වය දරනා බැවිනි.

Share.

Comments are closed.