ඉදිරි මාස හතර තුළ භාණ්ඩ 100 සිට 150 දක්වා ආනයන සීමා ඉවත් කිරීමට රජය කටයුතු කරන බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාහු පවසති.

මෙම පියවර හරහා විනිමය අනුපාතයට, විදේශ සංචිත සහ උද්ධමනය කෙරෙහි බලපෑමක් ඇති නොකරනු ඇතැයි මහා භාණ්ඩාගාරය විශ්වාස කරයි.

වාහන ආනයන සීමාව තවත් වසරක පමණ කාලයක් ක්‍රියාත්මක වෙනු ඇතැයි ඔවුන් සඳහන් කරයි. වාහන ආනයනය කිරමට වසරකට ඩොලර් බිලියන දෙකක්වත් රටින් පිටට යාම හේතුවෙන් එම තහනම ඉවත් නොවෙනු ඇත. ඩොලර් බිලියන දෙකක් රටින් පිටතට යාම විදේශ සංචිතවලට බලපෑමක් ඇති කරන සාධකයක් බවත් ඔවුහු පැවසූහ.

පරි​ඝණක, ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර, ගෘහ උපකරණ, ලිපි ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ඇඳුම්  සහ ඇඟලුම්, සම් නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, අමතර කොටස්, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, කෘෂිකාර්මික උපකරණ, නාන කාමර උපාංග, ටයිල් සහ සෙරමික් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයන සීමා ඉවත් කෙරෙන අයිතම අතර ඇතැයි සඳහන් වෙයි.

සීමා ඉවත් කරන භාණ්ඩ ප්‍රමාණය මහ බැංකුව, කර්මාන්ත අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය විසින් සකස් කරනු ඇති බව භාණ්ඩාගාර නිලධාහු පැවසූහ.

එහි අරමුණ වනුයේ භාණ්ඩ සඳහා කළු කඩයක් නොමැති බව සහතික කිරීම බව එක් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත්, එම පහසුකම සූරාකෑමට ලක් නොවන බවටත්, ආනයනය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නොවන බවටත් සහතික කිරීම සඳහා දැඩි අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරනු ඇතැයි භාණ්ඩාගාර නිලධාහු පවසති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙම සතියේ දීර්ග ණය පහසුකමක් අනුමත කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව වාහන ඇතුළු භාණ්ඩ 1500කට පමණ ආනයන සීමා පනවා ඇත. මේ අතර, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අනෙකුත් ණය දෙන ආයතන සහ පරිත්‍යාගශීලී රටවලින් ශ්‍රී ලංකාව තවදුරටත් ණය අපේක්ෂා කරයි.

ජුලි මාසයේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් ද දෙසැම්බර් මාසයේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ද අපේක්ෂිත අරමුදල් අතර වේ. සමාජ සුබසාධන වැඩසටහන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ලෝක බැංකු පහසුකමක් සාකච්ඡා කරමින් පවතී.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JAlCA), චයිනා එක්සිම් බැංකුව සහ ලෝක බැංකු ව්‍යාපෘතිවල ණය සැප්තැම්බර් මාසයෙන් පසුව නිදහස් කිරීමට අපේක්ෂා කෙරනවා.

Share.

Comments are closed.