පාස්කූ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අද (අප්‍රේල් 21) දිනට වසර හතරක් ගත වී තිබේ.

එම ප්‍රහාරයෙන් මිය ගිය තැනැත්තන් සිහි කරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් අද උදෑසන 8.00 සිට කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරීමට නියමිතය.

ඒ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව ඉකුත් දා සඳහන් කළේ ය.

එමෙන් ම, අද පෙරවරු 8.45ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට ද නියමිතය.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්ක කර ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් සිදු ව වූ අතර එම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 277 දෙනෙක් මරණයට පත් වූහ.

මිය ගිය පිරිස අතර විදේශිකයන් 45 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙක් ද වූහ.

ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් අටදෙනා ද ඉන් මරණයට පත් වී තිබුණු අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.

Share.

Comments are closed.