මගී ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම කිරීම හා වංචා දූෂණ මැඬ පැවැත්වීමේ අරමුණින් අනිවාර්යයෙන්ම තෙමසක් ඇතුළත බස් හා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම්, ආසන වෙන් කිරීම් ඇතුළු සියලු කටයුතු QR ක්‍රමවේදය ඔස්සේ පූර්ණ ඩිජිටල්කරණයට ලක් කරන ලෙස ප්‍රවාහන බලධාරීන්ට නියෝග කළ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මාධ්‍යට පවසා තිබෙනවා.

මෙම ඩිජිටල්කරණ කටයුතු සඳහා දේශීය සහ විදේශීය යෝජනා කැඳවීම දැනට වසර පහක් හයක් තිස්සේ සිදු කෙරුණත් කිසි විටෙකත් ඒවා ක්‍රියාත්මක නොවීම තුළ මෙම ක්ෂේත්‍රයෙහි වංචා දූෂණ ඉහවහා ගොස් ඇති බවද ඇමැති ආචාර්ය ගුණවර්ධන සඳහන් කළේය. එමෙන්ම දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයන් තුළ වංචා හා දූෂණ සිදු කිරීමට පහසුවෙන් ඉඩකඩ විවරව තිබීම හේතුකොටගෙන ඒවායෙන් ප්‍රතිලාභ ලබන පිරිස් මෙම ඩිජිටල්කරණ ක්‍රමවේදය කඩාකප්පල් කිරීමට විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වන බවද ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ නිසා තවදුරටත් බලා සිටීමෙන් ක්‍රමවේදයේ වෙනසක් (system change) කිසිසේත්ම සිදු නොවන නිසා පවතින ක්‍රමවේදය ඵලදායි ලෙස වෙනසකට ලක් කිරීම අරමුණු කරගෙන එය තෙමසක් ඇතුළත ඩිජිටල්කරණය කිරීම සඳහා නොපමාව කටයුතු කරන ලෙස තමන් නිලධාරීන්ට නියෝග කළ බවද ඇමතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

මේ වන විට ජාතික ගමනාගමන කොමිසම ඩිජිටල්කරණයට ලක් කර ඇති බවද පැවසු ඇමැතිවරයා දැනට බස් රථ 1500ක ධාවන කටයුතු එමඟින් එක් තැනක සිට පූර්ණ අධීක්ෂණයට ලක් කළ හැකි බවද පැවසීය. අනාගතයේදී මෙරට සියලු බස් රථවල ධාවන කටයුතු කොළඹ සිට අධීක්ෂණය කිරීමට හැකි වන බවද ඇමතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.