කොරියානු රැකියා සඳහා නියමිත කෝටාව ඉක්මවා මෙරට ශ්‍රමිකයින් බඳවාගැනීමට කොරියානු රජය එකඟ වී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ රැකියා අමාත්‍යාංශය පවසන්නේ කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් දක්වා බඳවා ගැනීමට එහිදී එකඟ වී ඇති බවය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවියේ ලියාපදිංචිව රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙකු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට ද මෙහිදී එකගතාවය පළකර ඇති බවය.

ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සඳහා යොමු කිරීමට නියමිතය. 

එසේ නැව් ඉදිකරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සඳහා අයදුම් කළ යුතු බවද එම අමාත්‍යාංශය පවසයි.

ලබන වසරේ සිට E 9 වීසා කාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා විභාග පවත්වා වෑද්දුම්කරුවන් සහ පින්තාරුකරුවන් 900ක් බඳවා ගැනීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එක​ඟතාවය දක්වා තිබේ.
           
ලබන වසරේ සිට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය, දැනට පවත්වන පරිඝනක පදනම්කරගත් CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පවත්වන බවට ද  කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇත.

Share.

Comments are closed.