චීන ආයෝජනයක් ලෙස දිනකට බොරතෙල් ටොන් 4ක් පිරිපහදු කළ හැකි අතිනවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානානක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවේ පැවසුවේය.

චීන තානාපතිවරයා මෑතදී අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන්ද බැහැදැක සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාවේ දැනට ඇති බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ඉදි කරන ලද එකක් බවත් චීන ආයෝජනයක් ලෙස ඉදි කිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රැසක් සිදු වනු ඇති බවත් ඒ මහතා කීවේය.

චීනය මඟින් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරිවුම් හල් 150ක මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 120-140 අතර මුදලක් චීනය මඟින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ ඔස්සේ නව රැකියා අවස්ථා රැසක් බිහි වනු ඇති බවත් කී ඒ මහතා හැකියාවන්ගෙන් පිරිපුන් දක්ෂ ශ්‍රී ලාංකිකයන්ට එම අයෝජන ඔස්සේ බිහි වන කර්මාන්ත සමඟ එකතු වී වැඩ කළ හැකි බවද අවධාරණය කළේය.

මේ වන විට චීනය ඇමරිකානු ආර්ථිකය අබිබවා ගොස් තිබෙන බවද ඒ මහතා පැවසී​ය.

Share.

Comments are closed.