උතුම්වූ බුදු තෙමඟුල සිහිකරමින් වෙසක් පුන් පොහෝ දින සවස ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වූ විශේෂ බුදුගුණ වන්දනාමය පින්කම විශාල ​සැදැහැවතුන් පිරිසකගේ දායකත්ව​යෙන් සිදුකරණු ලැබුවා.

මෙම විශේෂ බුදුගුණ වන්දනාමය පින්කම අතිපූජ්‍ය රන්මුතුගල බුද්ධවංශ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කර​න ලදි.

විශේෂ බුදුගුණ වන්දනාමය පින්කමට ධාතු කරඬුව වෙ​ත ගිලන්පස වන්දනා​ව සිදුකිරීම, දස බල ඥාණ වන්දනාව, පුන්‍යනුමෝදනාව සිදුකිරීමෙන් අනතුරුව පිරිකර පුජාව සහ පිරිත් නූල් බෙදාදීම සිදු​කරනු ලැබුවා. පින්කම අවසානයේදී තේ පැන් දන්සැලක් ද පවත්වනු ලැබුවා.

ඩුබායි ලංකාරාම විහාරවාසී ගරුතර මහා සංඝරත්න​ය ඇතුළු එහි දායක සභා​ව මෙම පින්කම සංවිධානයේදී ඉතා විශාල මෙහෙවරක් ඉටු කරනු ලැබූ අතර ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකීය වෘත්තීය හා ප්‍රජා සංගම් වල දායකත්වයද ලැබුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශයන්හි වෙසෙන බෞද්ධ ජනයා මෙම උතුම් වූ පුණ්‍ය කර්ම​යට දැඩි උද්යෝගයකින් සහ භක්තියකින් එක්වී සිටිනු දක්නට ලැබුණා. මව් බිමෙන් එපිට ඉතා කාර්‍යබහු​ල ජීවිතයක් ගත කරන ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට මෙවන් දුරබැහැර රටකදී, බෞද්ධ උත්ස​ව අතර ඉතා ඉහලින් සැලකෙ​න වෙසක් පුන් පොහෝ දිනයේදී​ම බොදු පිළිවෙත් අනු​ව සිදු කල මෙම විශේෂ බුදුගුණ වන්දනාමය පින්කමට සහභාගී වීමට ලැබීම ඔවුන් ලද මහා භාග්‍යයක්ම විය.

Share.

Comments are closed.