ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමකින් පවත්වා ගෙන යාමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කළාපය ද වඩාත් ආරක්ෂිත බවත් ඊයේ අවසන් වූ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ( International Civil Aviation Organization – I.C.AO. ) විසින් පවත්වන ලද ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගනනයේ දී තහවුරු වී තිබේ.

මෙම ජාත්‍යන්තර විගනන පරීක්ෂණය ඉකුත් මැයි 08 දින සිට මැයි 18 දින දක්වා සුදුසුකම් ලත්, ජාත්‍යන්තර ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ විදේශීය විගනන පරීක්ෂකවරුන් පිරිසක් සිදු කර තිබුණි .

එහිදී ඔවුන් ජාතික ගුවන් සේවා නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය බුද්ධි ඒකකය, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකාව සමග ගුවන් සේවා ක්‍රියාත්මක කරනු ලබන විදේශීය ගුවන් සේවා ඇසුරෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වා ගෙන යාම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ විමසුමක් සිදු කර තිබේ.

මෙවැනි විගනන විමසුම් නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහ කළාපීය වශයෙන් ඉහළ ස්ථානයක ශ්‍රේණි ගත වීම, විදේශීය ගුවන් සමාගම් මෙරටට වැඩි වශයෙන් ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීම මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කළාපය වැඩි වශයෙන් විදේශීය ගුවන් සේවා භාවිතා කිරීමට පෙළඹීම ද සිදු වීමට නියමිතය.

Share.

Comments are closed.