ජනප්‍රිය පණිවිඩ යැවීමේ යෙදුම වන WhatsApp, අපි මිතුරන් සහ පවුලේ අය සමඟ සන්නිවේදනය කරන ආකාරය​ට විප්ලවීය වෙනසක් සිදුකර ඇත. නමුත් මෙම යෙදුම සමීප සම්බන්ධතා වලට පමණක් තවදුරටත් සීමා නොවේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙම ක්ෂණික පණිවුඩකරණ පහසුකමෙහි මූලික ක්‍රියාකාරිත්වය අවබෝධ කරගෙන ඇති අතර එමඟින් පරිශීලකයින්ට තථ්‍ය කාලීනව (real time ) අන් අය සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි.

එහි ක්ෂණික පණිවිඩ යැවීම, හඬ සහ වීඩියෝ ඇමතුම් විශේෂාංග, සමූහ කතාබස්, ව්‍යාපාරික සන්නිවේදන මෙවලම්, ස්ථාන බෙදාගැනීම සහ ගොනු හුවමාරු කිරීමේ හැකියාවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මිනිසුන්ගේ ජීවිත සාමූහිකව වැඩිදියුණු කර ඇති අතර, ඔවුන්ට සම්බන්ධ වී සිටීමට, සහයෝගයෙන් කටයුතු කිරීමට සහ බාධාවකින් තොරව සන්නිවේදනය කිරීමට හැකි වේ.

වාහන නැවැත්වීමේ ප්‍රවේශ පත්‍රයක් සඳහා ගෙවීම, උප්පැන්න සහතිකයක් ​සඳහා ඉල්ලුම් කිරීම හෝ අපරාධයක් වාර්තා කිරීම යන ඕනෑම අවස්ථාවක, පදිංචිකරුවන්ට සහ පුරවැසියන්ට WhatsApp හරහා ලබාගත හැකි UAE රාජ්‍ය සේවා අවම වශයෙන් දහයක්වත් තිබේ.

අදාළ සම්බන්ධතා තොරතුරු සමඟ පිරිනමන සේවා ලැයිස්තුව පහතින් දැක්​වේ:

1. සාජා මහ නගර සභාවට කෙලින්ම කතා කරන්න

සාජා හි පදිංචිකරුවන්ට සහ පුරවැසියන්ට WhatsApp හරහා නගරයේ මහ නගර අධ්‍යක්ෂ ජනරාල් සමඟ සෘජුවම සන්නිවේදනය කළ හැකිය. අධිකාරිය විසින් මෑතකදී මෙම සේවාව දියත් කරන ලද අතර, වෙනත් සන්නිවේදන නාලිකා භාවිතයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ නම් වැසියන්ට ඔවුන්ගේ අදහස් දැන්වීම​ට, පැමිණිලි හෝ යෝජනා බෙදා ගැනීමට ඉඩ සලසයි. 050 161 7777 යන මෙම අංකය ඔස්සේ WhatsApp මගින් අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගත හැක

මේ පළිබඳව නිවේදනය කිරීමට මහ නගර සභාව ප්‍රකාශයක් නිකුත් කළේය: “ඔබේ අපේක්ෂාවන් සපුරාලන සේවාවන් සැපයීමට සහ ඔබ මුහුණ දිය හැකි ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියක් ලෙස, අපි ඔබට අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ කෙලින්ම සන්නිවේදනය කිරීමට ඉඩ සලසන WhatsApp අංකය ලබා දී ඇත.” යනුවෙනි.

2. උප්පැන්න සහතිකය ඉල්ලුම් කරන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට ඔවුන්ගේ දරුවන්ගේ උප්පැන්න සහතික WhatsApp සේවාව හරහා ලබා ගත හැක. 2022 දී සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය (MoHAP) පැවසුවේ උප්පැන්න සහතිකයක් ලබා ගැනීම සඳහා දෙමාපියන්ට එහි කැපවූ WhatsApp අංකය: +97142301221 භාවිතා කළ හැකි බවයි. කෙසේ වෙතත්, MoHAP විසින් පවත්වාගෙන යනු ලබන රෝහල්වල මෑතකදී උපත ලැබූ ළදරුවන්​ මෙම සේවාව සඳහා සුදුසුකම් ලබයි.

අමාත්‍යාංශයට අනුව ලේඛනය​ක් නිකුත් කිරීමට ඩිරාම් 65ක් වැය වන අතර අරාබි පිටපතක් තිබිය යුතුය. ඉල්ලීම මත ඉංග්‍රීසි පිටපත් ද ලබාගතහැ​ක. ඔබට අමතර ගාස්තුවක් සමඟින් ලිපි ලේඛන ගෙන්වා ගැනීමට හෝ MoHAP මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයකින් එය ලබා ගැනීමට තෝරා ගත හැකිය. සහතිකය වැඩ කරන දින දෙකක් ඇතුළත පැමිණිය යුතුය.

3. වාහන නැවැත්වීමේ ගාස්තු ගෙවන්න

ඩුබායිහි රථ වාහන නැවැත්වීමේ ප්‍රවේශපත්‍ර සඳහා ජනප්‍රිය ජංගම යෙදුම වන WhatsApp හරහා ගෙවිය හැකි බව මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) එහි වෙබ් අඩවියේ සඳහන් කරයි.

SMS මගින් ගෙවීම් වෙනුවට වාහන නැවැත්වීම සඳහා ගෙවීමට රියදුරන්ට +971 58 8009090 මගින් RTA හි Chatbot Mahboub වෙත WhatsApp හරහා යැවිය හැක. එය ක්‍රියා කරන ආකාරය:

වාහන තහඩු අංකය (හිස්තැනක්) කලාප අංකය (හිස්තැනක්) කාලසීමාව

උදාහරණයක් ලෙ​ස: A00000 000A 2

වාහන නැවැත්වීමේ ප්‍රවේශපත්‍ර ගාස්තුව මෝටර් රථ හිමියන්ගේ ඩිජිටල් මුදල් පසුම්බියෙන් අඩු කරනු ලැබේ.

4. උපයෝගිතා බිල්පත් ගෙවන්න

ඩුබායි වැසියන්ට ඔවුන්ගේ උපයෝගිතා බිල්පත් ගෙවීමට සහ ඔවුන්ගේ ජලය සහ බලශක්ති භාවිතය නිරීක්ෂණය කිරීමට WhatsApp භාවිතා කිරීමේ පහසුව ඇත. ඩුබායි බලශක්ති සහ ජල අධිකාරිය (DEWA) විසින් 2019 දී Dewa WhatsApp සේවාව හඳුන්වා දුන් අතර, විදුලිය සහ ජලය සම්බන්ධ විමසීම් සඳහා සහය සඳහා පාරිභෝගිකයින්ට 24 පැය පුරා ක්‍රියාත්ම​ක අධිකාරිය සමඟ සම්බන්ධ වීමට හැකි වේ.

WhatsApp අංකය +9714 6019999 හරහා, කතාබස් අතුරුමුහුණත තුළ සපයා ඇති සරල උපදෙස් අනුගමනය කිරීමෙන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ උපයෝගිතා බිල්පත් පහසුවෙන් ගෙවිය හැකිය. තවද, මෙම සේවාව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජලය සහ බලශක්ති භාවිතය නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි.

DEWA WhatsApp සේවාව වෙත ප්‍රවේශ වීමෙන්, පදිංචිකරුවන්ට ඔවුන්ගේ පරිභෝජනය පිළිබඳ තත්‍ය කාලීන යාවත්කාලීන කිරීම් (real-time updates) ලබා ගත හැකි අතර, ඔවුන්ගේ භාවිත රටාවන් නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ බලශක්ති පරිභෝජනය සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීමට එය උපකාර කරයි.

DEWA හි WhatsApp ගිණුමේ ඇති සේවාවන් :

  • සැපයුම් කළමනාකරණය
  • බිල්පත්
  • බුද්ධිමත් ප්‍රතිචාර
  • සේවා ඉල්ලීම් නිරීක්ෂණය කිරීම්
  • පරිභෝජන කළමනාකරණය
  • බිල්පත් ගෙවීමේ
  • ගෙවීම් ක්‍ර​ම
  • මිතුරෙකු සඳහා ගෙවන්න
  • ස්වයංක්‍රීය ගෙවීම්
  • ආපසු ගෙවීමේ සේවාව
  • බිල්පත් ගනුදෙනු ඉතිහාසය
  • ස්ලැබ් ගාස්තු (Slab tariff)
  • ගාස්තු කැල්ක්‍යුලේටරය

5. කාන්තා හා ළමා අපචාර වාර්තා කරන්න

සාජා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ (SSSD) 24 පැය පුරා ක්‍රියාත්ම​ක චැට්බෝට් සේවාව දියත් කිරීමත් සමඟ සාජා හි කාන්තාවන්ට සහ ළමයින්ට WhatsApp හරහා අපයෝජන සහ ප්‍රචණ්ඩත්වය වාර්තා කළ හැකිය. 0097165015995 WhatsApp අංකය හරහා අපයෝජනයට ලක්වූවන් හට උපකාර ලබාගත හැක.

එහිදී නිලධාරියෙකු සමඟ ගනුදෙනු කිරීමකින් තොරව මිනිසුන්ට පැමිණිලි කළ හැකි අතර එමඟින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වනු ඇත. ‘Salem’ නම් දක්ෂ සහායකයෙක් පැමිණිලිවලට ස්වයංක්‍රීයව ප්‍රතිචාර දක්වන අතර පරිශීලකයාට ඔහුට හෝ ඇයට උපකාර ලබා ගැනීමට ඉඩ සලසන ක්‍රියාවලියක් හරහා මඟ පෙන්වයි.

උදාහරණයක් වශයෙන්, කාන්තාවක් එක් පණිවිඩයක ‘ආරක්ෂක උපකාරක සේවා’ තෝරා ගත් විට, සලීම් වහාම ඇගේ ජීවිතය අනතුරේ දැයි අසයි. මෙම සේවාව වැඩිහිටියන් ඇතුළු ප්‍රජාවේ අනෙකුත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ද විශ්වාසය තැබිය හැකිය

වැසියන්ට ප්‍රධාන ක්ෂණික ඇමතුම් අංකය වන 06 501 5555 හරහා දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැක. අනෙකුත් ගාස්තු රහිත අංක අතර ළමා උපකාරක දුරකථන අංක 800700 ඇතුළත් වේ. කාන්තා ආරක්ෂාව සඳහා 800800700, ගෘහ රැකවරණය සඳහා 8007080, සමාජ සු​භසාධනය සඳහා 8008007 වන අත​ර ඔවුන්ට sssd@sssd.shj.ae ඊමේල් කිරීමට ද හැකිය.

6. ගෘහස්ථ හිංසනය, හිරිහැර කිරීම සහ මිනිස් ජාවාරම වාර්තා කරන්න

2022 දී, ඩුබායිහි කාන්තාවන් සහ ළමයින් සඳහා පදනම (DFWAC) හිංසනය පිළිබඳ වාර්තා මෙන්ම මනෝචිකිත්සක, සමාජීය හෝ නීති උපදෙස් ලබා ගැනීම සඳහා WhatsApp නාලිකාවක් දියත් කරන ලදි.

පදනමේ සේවාවන් සැපයීමට පහසුකම් සැලසීම සහ වේගවත් කිරීම අරමුණු කරගනිමින් – 971 800 111 WhatsApp ක්ෂණික ඇමතුම් අංකය හරහා හරහා පදනමට කෙටි පණිවිඩ යැවීමෙන් ලබා ගත හැක.

එහි වෙබ් අඩවියට සහ පැය 24 පුරා උපකාරක සේවාවට අමතරව, DFWAC සමාජ මාධ්‍ය නාලිකා හරහා සිය සේවාවන් සපයයි.

7. වෛද්‍යවරයෙකුගේ හමුවීමක් වෙන්කරවා ගන්න

අබුඩාබි සෞඛ්‍ය සේවා සමාගම වන Seha එමිරේට්ස්හි රෝගීන් සඳහා පහසු WhatsApp වෙන්කරවා ගැනීමේ සේවාවක් ඇත. 02 410 2200 අංකය හරහා මිනිත්තු දෙකකට අඩු කාලයකදී මෙම සේවාව සමඟින් පදිංචිකරුවන්ට පසු විපරම් හමුවීම් පහසුවෙන් සිදු කිරීමට, කළමනාකරණය කිරීමට සහ ලේඛනගත කිරීමට හැකිය.

හමුවීමක් ලේඛනගත (schedule) කිරීමට කැමති නව රෝගීන් සත්‍යාපනය (authentication ) කිරීමේ ක්‍රියාවලියකට භාජනය වීමට අවශ්‍ය වනු ඇත. මෙයට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ එමිරේට්ස් හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය සැපයීම ඇතුළත් වේ.

සත්‍යාපනය කළ පසු, රෝගීන්ට WhatsApp සේවාව හරහා විශේෂාංග රාශියකට ප්‍රවේශ විය හැක. ඔවුන්ට නව හමුවීම් වෙන්කරවා ගැනීමට, පවතින හමුවීම් කළමනාකරණය කිරීමට සහ පහසුවෙන් පසු විපරම් හමුවීම් නිර්මාණය කිරීමට හැකිය. මීට අමතරව, රෝගීන්ට ඔවුන්ගේ වෙන් කර ඇති හමුවීම් බැලීමට, සාමාන්‍ය තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ Seha වෙතින් නවතම පුවත් සහ යාවත්කාලීන කිරීම් සමඟ යාවත්කාලීනව සිටීමට හැකිය.

8. අබුඩාබි ප්‍රවාහන සේවය

අබුඩාබියේ මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) හදිසි අවස්ථා සඳහා අතිරේක සන්නිවේදන මෙවලමක් එක් කරමින් WhatsApp සේවාව දියත් කරන ලද අතර පරිශීලකයින්ට ඔවුන්ගේ ඉල්ලීම්වල සහාය ලබා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි.

කෘතිම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමින්, DMT හි WhatsApp සේවාව දෙපාර්තමේන්තුවේ සන්නිවේදන නාලිකා ඒකාබද්ධ කිරීමට සහ නිවැසියන්ගේ ඉල්ලීම් සඳහා වේගවත් හා කාර්යක්ෂම ප්‍රතිචාරයක් ලබා දීමට උත්සාහ කරයි. පරිශීලකයින්ට සහාය ලබා ගැනීමට, ඔවුන්ගේ ඉල්ලීම්වල තත්ත්වය නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ සමස්ත පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීමට පහසු මාධ්‍යයක් ලෙස එය සේවය සලසයි. සේවාවට දායක වීමට, අබුඩාබි වැසියන්ට මෙම පියවර අනුගමනය කළ හැකිය:

WhatsApp හි ඔවුන්ගේ සම්බන්ධතා ලැයිස්තුවට 02 678 8888 අංකය එක් කරන්න, එය සුදුසු නමක් යටතේ සුරකින්න.

සුරකින ලද සම්බන්ධතා අංකයට “hello” යන වචනය යවන්න. මෙය සේවාව සමඟ සෘජු සන්නිවේදනය ආරම්භ කරන අතර පවතින විකල්ප පෙන්වයි.

පදිංචිකරුවන්ට DMT හදිසි ඇමතුම් අංකය, 993 ට සෘජුවම ඇමතිය හැකිය.

9. ඕනෑම විමසීමක් හෝ පැමිණිලි සඳහා මානව සම්පත් සහ එමරාතීකර​න අමාත්‍යාංශය (MoHRE) අමතන්න

කිසියම් විමසීමක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පදිංචිකරුවන්ට WhatsApp හරහා UAE හි මානව සම්පත් සහ එමරාතීකර​න අමාත්‍යාංශය (MoHRE) දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැක. මෙම සේවාව ඉංග්‍රීසි සහ අරාබි භාෂාවෙන් ලබා ගත හැකි අතර පාරිභෝගිකයින්ට 600590000 අංකය හරහා අමාත්‍යාංශය වෙත ළඟා විය හැකිය.

නව නාලිකාව සේවා යෝජකයින්ට, සේවකයින්ට සහ ගෘහ සේවිකාවන්ට පැය 24 පුරාම MoHRE හා සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙයි.

පදිංචිකරුවන්ට ලබා ගත හැකි සේවාවන් වනුයේ:

  • ආයතනයේ ගිණුම් ප්‍රකාශය (විශේෂයෙන් සේවා යෝජකයන්ට සම්බන්ධ) ලබා ගන්න. රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ප්‍රකාශය බෙදා ගැනීමට පෙර අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති අංකයට සත්‍යාපන කේතයක් එවීමෙන් එමිරේට්ස් හැඳුනුම්පත අංකය හරහා පාරිභෝගිකයා හඳුනා ගනු ඇත.
  • පැමිණිල්ලක් ගොනු කරන්න හෝ යෝජනාවක් ලියාපදිංචි කරන්න
  • තාක්ෂණික සහාය ඉල්ලන්න
  • පාරිභෝගික දත්ත ඉල්ලා සිටින්නේ එක් වරක් පමණි
  • විරැකියා රක්‍ෂණ නීතිය, නව ගෘහ සහායක නීතිය සහ කම්කරු සබඳතා නීතියේ කොන්ත්‍රාත් කාලසීමාව පිළිබඳ යාවත්කාලීන කිරීම දැන් උඩුගත කර (upload) ඇත.

10. නොමිලේ මානසික සුවය සහය

මානසික සෞඛ්‍යයේ වැදගත්කම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුද්ගලයන්ට ලබා ගත හැකි පුළුල් ආධාරක විකල්ප ඉස්මතු කිරීම ඉතා වැදගත් වේ. මානසික සෞඛ්‍ය ගැටලු සමඟ පොරබදමින් සිටින අයට රට පුරා විවිධ නාලිකා හරහා උපකාර ලබා ගත හැකිය.

සන්තෝෂය සහ යහපැවැත්ම සඳහා වූ ජාතික වැඩසටහන, ජාතික ව්‍යාපාරයේ volunteers.ae සමඟ සහයෝගයෙන්, 800-HOPE (8004673) වෙත ප්‍රවේශ විය හැකි කැපවූ මානසික ආධාරක මාර්ගයක් ස්ථාපිත කර ඇත. පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වන මෙම උපකාරක සේවාව නිවැසියන්ට අගනා ආධාර සපයයි. මීට අමතරව, පුද්ගලයන්ට WhatsApp හි 8004673 වෙත පණිවිඩයක් යැවීමෙන්ද සහාය ලබා ගත හැකිය.

අබුඩාබි පදිංචිකරුවන් සඳහා, Estijaba උපකාරක සේවාව මනෝවිද්‍යාත්මක සහාය සඳහා අත්‍යවශ්‍ය සම්පතකි. 8001717 ඇමතීමෙන්, පුද්ගලයන්ට අබුඩාබි සෞඛ්‍ය අධිකාරියේ පුහුණුව ලත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ සම්බන්ධ විය හැකිය, ඔවුන් දුරකථනය හරහා පුළුල් සේවාවන් සපයනු ලැබේ.

Share.

Comments are closed.