ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිව​සේ (Safehouse) සිටින ශ්‍රී ලාංකික සහෝදරියන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට සහ උපකාර කිරීමට පසුගියදා ඩුබායි සිලෝන් ලයන්ස් සමාජ​යේ (DCLC) අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස මූලිකත්වය ගත්තේය.

මෙහිදී ඩුබායි සිලෝන් ලයන්ස් සමාජය විසින් සුරක්ෂා නිව​සේ සිටි එම කාන්තාවන්ගේ ඇස් පෙනීම පරීක්ෂා කිරීම සහ වෙනත් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කිරීම සඳහා සහාය දක්වන ලදි. මෙම කර්තව්‍ය​ය​ට ඩුබායිහි Aloka Eye Clinic හි වෛද්‍ය උමාශංකර් රාමචන්ද්‍රන් මහතා තම ආයතනික සමාජ වගකීමක් ලෙස සලකමින් එම සේවාවන් නොමිලේ සලසා දීමට කටයුතු කිරීම විශේෂයෙන් සඳහන් කරන්නෙමු.

මීට අමතර​ව කොන්සල් ජනරාල් කාර්යාල බලධාරීන්ගේ ඉල්ලීම පරිදි සුරක්ෂා නිව​​සෙහි තාවකාලික නවාතැන් ගෙ​න සිටින කාන්තාවන් 50 කට වැඩි පිරිසකගේ ප්‍රයෝජනය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් විශාල ප්‍රමාණයක් සැපයීම​ට ඩුබායි සිලෝන් ලයන්ස් සමාජයේ මානුෂීය මෙහෙවර ඔස්සේ හැකි විය.  

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී​ව සමාජයේ සෑම සාමාජිකයෙකුම මෙම වටිනා කාර්යභාරය​ට සහයෝගය සහ දායකත්වය ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස වියළි ආහාර, සිල්ලර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250 කට වැඩි ප්‍රමාණයක් මෙන්​ම රුධිර පීඩන නිරීක්ෂණ උපකර​ණ 2 ක් සුරක්ෂා නිව​ස​ට ලබා දීමට ඩුබායි සිලෝන් ලයන්ස් සමාජයට හැකි විය.

ඩුබායි සිලෝන් ලයන්ස් සමාජය තවත් බොහෝ සේවා ව්‍යාපෘති රැසක් සමඟින් අනාගතයේදී ප්‍රජාවට තවදුරටත් සේවය කිරීමට බලාපොරොත්තු වේ.

Share.

Comments are closed.