ඔස්ට්‍රේලියාවට පසුව වැඩිම එක් දින තරඟ සංඛ්‍යාවක් අඛණ්ඩව ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමේ වාර්තාව තමන් සතු කර ගැනීමේ අරමුණෙන් දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද බංග්ලාදේශය සමග තරඟ වැදීමට නියමිතය.
එක්දින තරඟ 21 ක් අඛණ්ඩව ජයග්‍රහණය කරමින් 2013 වසරේ දී ඔස්ට්‍රේලියාව එහි ලෝක වාර්තාව පිහිටුවා ඇත.
පකිස්ථානය (2007 – 2008) තරඟ වාරයේදී සහ දකුණු අප්‍රිකාව (2016-2017) තරඟ වාරයේදී අඛණ්ඩව තරග 12ක් ජයග්‍රහණය කර එම අඛණ්ඩ වාර්තාවේ දෙවෙනි තැන සමව හිමිකරගෙන සිටී.
ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගියදා පකිස්ථානයේදී ලද ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවද එක් දින තරඟ 12ක් අඛණ්ඩව ජයගනිමින් පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව සමග එම වාර්තාවේ සම තැනට හිමිකම් කීය.
ඒ අනුව අද පැවැත්වෙන තරඟයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව තෙවැනි තැනට පත් කර අඛණ්ඩව ලොව වැඩිම එක්දින තරඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ කණ්ඩායමට හිමි වාර්තාවේ දෙවන ස්ථානයේ තනි අයිතිය හිමි කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිය.
අද පැවැත්වෙන තරඟය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු තරඟය මෙන්ම මෙවර තරඟාවලියේදී කොළඹ පැවැත්වෙන පළමු තරඟයද වේ.
දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සුපිරි වටය යටතේ සහභාගි වන පළමු තරඟය ද මෙය වේ.
බංග්ලාදේශය, සුපිරි වටය යටතේ සහභාගි වූ පළමු තරඟයෙන් පකිස්ථානය හමුවේ කඩුලු 7 ක පරාජයක් ලැබ පෙරේදා යළි මෙරටට පැමිණියේය.
තරගාවලියේ “B” කාණ්ඩයෙන් තරඟ වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත් අතර මූලික වටයේදී බංග්ලාදේශය හමුවේ කඩුලු 5 ක පහසු ජයක් ලැබූවේය.
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි තරඟයේදී ඇෆ්ගනිස්තානය හමුවේ තියුණු සටනක නිරතව සුපිරි වටයට පැමිණියේය.
අද තරඟය සඳහාද කණ්ඩායම් දෙකම පසුගිය තරඟයට ක්‍රීඩා කළ කණ්ඩායම් යෙදවීමට බොහෝ දුරට ඉඩ ඇත.