සම්බුදු සිරිතේ මුල්ම අවධියේ මෙන්ම අවසාන භාගයේ ද වැදගත් සිදුවීම් කිහිපයක්ම සලකුණු වූ නවම් පුර පසළොස්වක් පොහෝ දිනය අදට යෙදී තිබේ. මේ අතුරින් සම්බුද්ධත්වයෙන් අට මසක් පමණ ගෙවුණු තැන සිදු වූ ප්‍රථම සංඝ සන්නිපාතයත්, බුදු සසුනේ අගසව් පදවි ප්‍රදානයත්, ඕවාද පාතිමොක්ඛය දෙසීමත්, පිරිනිවනට තෙමසක් පළමුව බුදු රදුන් ආයු සංස්කාරය අත්හැරීමත් වැදගත් කරුණු වේ.
ඇසළ පෝදා පස්වග මහණුන්ගෙන් ඇරඹි සඟ සසුන උරුවෙල්, නදී, ගයා කසුප් තුන්බෑ ජටිලයන්ගේ දහසක් පිරිවරද, සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසිය පනහක පිරිවරද, යස කුල පුත් පිරිවරද ලෙස කෙමෙන් ගොඩනැඟුණු එක් දහස් තුන්සියය ඉක්මවූ සංඝ සමාජය පළමු වරට මුළු දුන්නේ අද වන් නවම් පුන් පොහෝ දිනකදීය. රජගහ නුවර වේළුවනාරාමයේදී එසේ රැස් වූ සංඝ සන්නිපාතය හමුවේ සැරියුත් මුගලන් හිමිවරුන්ට අග්‍ර ශ්‍රාවක තනතුරු ප්රදානය කළ බුදු රජාණන් වහන්සේ එහිදී ඇතැම් භික්ෂූන් තුළ ඇති වූ දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමොක්ඛය දේශනා කර වදාළහ.
එයින් ආරම්භ වී එකඩ සිව් දසකයක පමණ කලක් පුරා විහිදුණු ලෝකාර්ථ සාධනීය බුද්ධ කෘත්‍යයේ සමාප්තිය සටහන් කරමින් පරිනිර්වාණයට තෙමසක් තිබියදී බුදු රදුන් ආයු සංස්කාරය අත්හැරීම සිදු වූයේද අද වන් නවම් පුන් පොහෝ දිනකදී වීම සුවිශේෂය.
මෑත ලක් දිව සාසන ඉතිහාසයට නවම් පොහොය එක් කළ වැදගත්ම සංසිද්ධිය නම් කොළඹ හුනුපිටිය ගංගාරාමය කේන්ද්‍ර කරගෙන පෙබරවාරියේදී සිදු කෙරෙන කොළොම්පුර නවම් මහා පෙරහර මංගල්‍යයයි.