මෙරට ජලසම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක සහන ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට සැලසුම් කර ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය නේවාසික අධ්‍යක්ෂ චොල්පොන් මෙම්බටෝවා මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් හා නාගරික සංර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා අතර ඊයේ (11) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.
ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරන නාගරික සංවර්ධන හා ජලසම්පාදන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ආයතන 03ක් මෙම ජල ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා ඒකාබද්ධව පූර්ණ සහයෝගය ලබා දෙන බව පැවසූ ඇමැතිවරයා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙන ආධාර හා ණය පහසුකම් වෙනුවෙන් ස්තූතිය පළ කළේය.
මෙම සාකච්ඡාව සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ද එක් වූ අතර ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නාගරික සංවර්ධන විශේෂඥ පෙඩ්රෝ අල්මේදා මහතා සහ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරී කමල් දහනායක, අමාත්‍යාංශ ලේකම් රංජිත් වීරරත්න, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඩී.එන්. සුමනසේකර, එහි සාමාන්‍යාධිකාරී ටී. භාරතිදාසන් යන මහත්වරුන් ඇතුළු නිලධාරී කණ්ඩායමක් සහභාගි වූහ.