ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තර​ඟය ලකුණු 175කින් ජය ගැනීමට සමත් විය. ඒ  එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කලා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 355ක් රැස්කලා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල් පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්ථා කිරීම විශේෂත්වයකි.

ආරම්භක කඩුල්ල සඳහා දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක ලකුණු 95ක් එක්කළ අතර පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 52කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 57ක් රැස්කලා.

අනතුරුව පිටිය​ට එක්වූ කුසල් මෙන්ඩිස් (78) සහ සදීර සමරවික්‍රම (73) ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීම වේගවත් කලා. චරිත් අසලංක පන්දු 23කදී ලකුණු 48ක් රැස්කලා.

පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ අලි නසීර් කඩුලු 2ක් දවාගත්තා.

ජයග්‍රාහී ලකුණු 356ක ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ සියළුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 180ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 6ක් දවාගත්තා.

මේ අතර ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයක් වන අයර්ලන්තය සහ ඕමානය අතර තරගයේදී කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම සමත් වුණා.

Share.

Comments are closed.