2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 11 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර බුලවායෝ හී දී පැවැති එම තරගයේ ජයග්‍රහණයත් සමග “බී” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕමානයට ලබා දුන් අතර වනිඳුගේ සහ ලහිරුගේ පන්දු හමුවේ අසරණ වූ ඔවුහු පන්දු වාර 30.2 ක් අවසානයේ ලකුණු 98 කට සියලු දෙනා දැවී ගියහ.

ලකුණු 13 කට කඩුලු 5ක් දවා ගත් වනිඳු හසරංග ගේ සහ ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් ලහිරු කුමාරගේ පන්දු හමුවේ හිස ඔසවන්නට ඉඩක් නොලද ඕමාන කණ්ඩායමේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 98 ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී තවත් පන්දු වාර 35 ක් ඉතිරිව තිබියදී ඉක්මවා යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.

එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ දෙදෙනා පන්දු වාර 15 ක් තුළ ලකුණු 100 ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහනය ගෙන දුන්හ.

දිමුත් කරුණාරත්න පන්දු 51 කදී ලකුණු 61 ක් ලබාගත් අතර මෙම අර්ධ ශතකය දිමුත් නොකඩවා එක දිගට තරග හතරක් තුළ ලැබූ සිව් වැනි අර්ධ ශතකය විය. එහිදී තමන් මුහුණ දුන් පන්දු 51 න් පන්දු 8 ක් හතරේ සීමාවට යොමු කිරීමට ඔහු සමත් වූයේය.

දිමුත්ට වඩා සෙමෙන් ඉනිමක් ගොඩනැඟූ පැතුම් නිශ්ශංක නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 37 කි. පන්දු තිස් නවයක් තුළ වාර්තා වූ පැතුම්ගේ ඉනිමට හතරේ පහර 5ක් අන්තර්ගත විය.

තමන් සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4 ක් හිමි කරගෙන සිටින අතර ඔවුන් ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය + 4.220 ක් වේ. එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන ඕමාන කණ්ඩායම තරග තුනකට සහභාගි වී එක් තරගයක් පරාජය වී තරග දෙකක් ජයග්‍රහනය කර ඇත.

Share.

Comments are closed.