එක්දින ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව අද (25) පැවැත්වේ. බුලවායෝ හිදි පැවැත්වෙන මෙම තර​ඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තර​ඟය බී කාණ්ඩය යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ මේ දක්වා මූලික වටයේ සහභාගි වූ තර​ඟ දෙකම ජය ගනිමිනි. අයර්ලන්ත පිල මේ දක්වා සහභාගි වූ තර​ඟ දෙකම පරාජයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව හමුවේ අද තරගය පරාජය පත්වුවහොත් ඔවුන්ට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවේ.

බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අපරාජිතව පෙරමුණේ පසුවන අතර අයර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ සිටී. බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමි කර ගන්නා කණ්ඩායම් 3 සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර එක්දින තරගයක් අද මෙලෙස පැවැත්වෙන්නේ වසර 7කට පසුවය. ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර මේ දක්වා එක්දින තරග 4ක් පවත්වා ඇති අතර එම තරග 4ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

අද තරගය සඳහා ශ්‍රී ලංකා පිලේ කිසිදු වෙනසක් සිදුනොවනු ඇති බව වාර්තා වේ.

Share.

Comments are closed.